Skip to content

මීට වසර මිලියන 65 කට පමණ පෙර පෘථිවියේ පහළ වී නොයෙකුත් පරිණාමීය ක්‍රියාවලීන්ට භාජනය වූ  ප්‍රිමාටාවන් නැතිනම් ප්‍රීමේට්ස්ල වශයෙන් හඳුන්වන්නේ ක්ෂීරපායී වර්ගයේ එක් ගෝත්‍රයක් වන ප්‍රිමාටා ගෝත්‍රයට අයත් සත්ත්ව කණ්ඩායමකි. ප්‍රිමාටාවන් කළලබන්ධධාරී (placentral mammals) ක්ෂීරපායී උප වර්ගයට අයත් වන අතර  අනෙක් ක්ෂීරපායීන් සමඟ මොවුන් පොදුවේ පෙන්වන ලක්ෂණ ලෙස දේහයේ රෝම පිහිටා තිබීම,  සාපේක්ෂව දීර්ඝ ගැබ් කාලයක් තිබීම සහ සම්පූර්ණව වැඩුණු පැටවුන් බිහි කිරීම, ක්ෂීර ග්‍රන්ථි පිහිටා තිබීම, දත් වර්ග හතරක් පිහිටා තිබීම, නියත දේහ උෂ්ණත්වයක් පවත්වාගත හැකි වීම, විශාල මොළයක් තිබීම සහ යම්තාක් දුරට ඉගෙන ගැනීමට ඇති හැකියාව ආදිය ගත හැකිය. ප්‍රිමාටාවන් පිළිබඳව ආරම්භයේ සිටම ඔබ වෙත මෙම කරුණු ගෙන ඒමට බල පෑ ප්‍රධාන හේතුව වූයේ මිනිසා ද අයත් වන්නේ මෙම ප්‍රිමාටා ගෝත්‍රයට වන නිසාවෙන් ය.

අප හැරුණුවිට අපගේ ගෝත්‍රයට අයත් අනෙකුත් සත්වයින් වන්නේ උණහපුළුවන්, ලීමරයන් පුරාතන ලෝකයේ වඳුරන්, නූතන ලෝකයේ වඳුරන් සහ වානරයන් ය. අපගේ රාජධානිය Animalia වන අතර උප රාජධානිය Matazoa වේ. වර්ගය Mamaila ද, උප වර්ගය Eutheria ද, ගෝත්‍රය Primates ද වේ. විශේෂයෙන් මීට පෙර රිලවුන් පිළිබඳ ප්‍රශ්නය අප ප්‍රවේශමෙන් විසඳාගත යුතුය යනුවෙන් ගෙනහැර දැක්වූ ලිපිය තුළ මා සඳහන් කළ පරිදි මෙම රිලවුන් ද අපගේ නෑදෑයින් වන අතර එක් අතකට එසේ චීනයට යැවීමට සැරසුණේ අපගේ නෑදෑයින් පිරිසක් ය. මන්ද ඔවුන්ද අයත් වන්නේ අප අයත්වන මෙම ප්‍රිමාටා ගෝත්‍රයටමය.

භෞතික මානව විද්‍යාවේ උප විෂයක් වශයෙන් ප්‍රිමාටා විද්‍යාව හඳුනාගත හැකි අතර මෙහිදී සිදු කරණුයේ ප්‍රිමාටාවන් පිළිබඳව අධ්‍යයනය කිරීම වන අතර එසේ ප්‍රිමාටාවන් පිළිබඳව අධ්‍යයනය කරනු ලබන විද්‍යාඥයින් හඳුන්වන්නේ ප්‍රිමාටා විද්‍යාඥයින් ලෙසය ( primatologist ). ප්‍රිමාටා අධ්‍යයන පරාසය තුළ විද්‍යාඥයින් ප්‍රධාන කරුණු කිහිපයක් අරභයා ඔවුන් අධ්‍යයනය කරන අතර එනම් වර්තමානයේ මිනිසා අනෙකුත් ප්‍රිමාටාවන් සමඟ ඇතිකර ගන්නා ගැටුම් හේතුවෙන් බොහෝ ප්‍රිමාටාවන් වඳ වී යෑමේ තර්ජනයට ලක්ව ඇති බැවින් මොවුන් පිළිබඳව අධ්‍යයනයන් දියත් කරයි. ලෝකයේ මේ වන විට විවිධ සත්ව සහ ශාක විශේෂ මිලියන 5-10 අතර සංක්‍යාවක් ඇතිමුත් ක්ෂීරපායින් නියෝජනය වන්නේ ඉන් විශේෂ 400 ක් වැනි ස්වල්ප සංක්‍යාවකිනි. එම ක්ෂීරපායී විශේෂ සංක්‍යාව අතරින් ද ප්‍රිමාටාවන් නියෝජනය වන්නේ විශේෂ 250 -300 පමණ ඉතා සුළු සංක්‍යාවකින් වන අතර වැඩිපුරම නිවර්තන සහ උප නිවර්තන රටවල් ආශ්‍රිතව ප්‍රිමාටාවන්ගේ ව්‍යාප්තිය හඳුනාගත හැකිය. දැනට ලෝකයේ ජීවත්වන අපගේ ගෝත්‍රයට අයත් කුඩාම සත්වයා වන්නේ මැඩගස්කරයේ ජීවත්වන මවුස් ලීමරයා වන අතර ( mouse lemur ) සාමාන්‍යයෙන් මොවුන්ගේ වැඩුණු සත්වයකුගේ බර 40g ක් පමණ වේ. ප්‍රමාණයෙන් විශාලතම ප්‍රිමාටා සත්වයා වන්නේ බර 200 kg ක් පමණ වන ගෝරිල්ලාය.

ආරම්භයේ සඳහන් කළ ලක්ෂණයන්ට අමතරව ප්‍රිමාටා ගෝත්‍රයේ සත්වයින් හට නියපොතු සහ පරිග්‍රහණ ශක්තියක් ඇති ඇඟිලි වලින් යුතු අත් සහ පාද පිහිටයි. මාපට ඇඟිල්ල අනෙකුත් ඇඟිලිවලට විරුද්ධව පිහිටයි. ඇස්වල ආරක්ෂාව සඳහා දෙපස අස්ථිමය තැටි නැතිනම් අර්ධ කවාකාර අස්ථි පිහිටයි. සමාජශීලී සත්වයින් වන අතර සංකීර්ණ චර්යා රටා පෙන්නුම් කරයි. එමෙන්ම ගැහැණු සත්වයින් සහ පිරිමි සත්වයින් එකිනෙකට වෙනස් රූපකායන් පෙන්වන අතර ඔවුන් බොහෝවිට එක් දරුවකු නැතිනම් දෙදෙනෙකු ප්‍රසූත කරයි. මිනිසුන්ට සමගාමීව අනෙකුත් ප්‍රිමාටාවන් තුළින් නිරූපණය වන ජෛවීය ලක්ෂණ කිහිපයක් ද පවතින අතර එනම් දරුවන් ආරක්ෂා කර ගැනීම, නායකත්වය සහ කණ්ඩායම් තුළින් නිරූපණය වන අන්‍යොන්‍ය සහයෝගීත්වය යනාදියයි.

ප්‍රිමාටාවන් වර්ගීකරණය කිරීම ලොව ප්‍රකට විද්‍යාඥයින් කිහිපදෙනෙකු විසින් සිදුකර ඇති අතර මෙහිදී ලොව ප්‍රකට ස්වභාවික විද්‍යාඥයකු වන ස්වීඩන් ජාතික කැරෝලස් ලෙනේයස් විසින් රූප විද්‍යාත්මක ලක්ෂණ සළකා බලා ප්‍රිමාටාවන් ප්‍රොසිම් සහ ඇන්ත්‍රප්‍රොයිඩියා වශයෙන් වර්ග දෙකකට බෙදා ඇත. මෙහිදී මිනිසුන් අයත් වන්නේ ඇන්ත්‍රප්‍රොයිඩියා ගණයට වන අතර අප වඩාත් සාකච්ඡාවට භාජනය කරණු ලබන රිලවුන්ද අයත් වන්නේ මෙම ගණයටයි. එමෙන්ම වඳුරන් සහ වානරයින් ද ඇන්ත්‍රප්‍රොයිඩියා ගණයට අයත්වන අතර විශේෂත්වය වන්නේ ඇන්ත්‍රප්‍රොයිඩියා ගණයේ 85% ක් ම වඳුරු විශේෂ වීමය. ශ්‍රී ලංකාව ගතහොත් අප හැරුණුවිට අපගේ ගෝත්‍රයට අයත්වන විශේෂ පහක් හඳුනාගත හැකි අතර එනම් රිලවා, කළු වඳුරා, අළු හැලි වඳුරා සහ උණහපුළු විශේෂ දෙකක් ය.

බොහෝ ප්‍රිමාටාවන් සාමාන්‍ය දේහ ලක්ෂණ රාශියක් පෙන්වන හෙයින් එක් ලක්ෂණයකින් පමණක් ඔවුන් ප්‍රිමාටාවන් වශයෙන් සඳහන් කළ නොහැකි හෙයින් ප්‍රිමාටාවන් සතුවිය යුතු පොදු ලක්ෂණ කිහිපයක් පවතී. එනම් තරමක ඍජු කාය විලාශයක් දැක්වීම, විශේෂණයට ලක් නොවූ අත් සහ පාද තිබීම මඟින් ඔවුන්ට නොයෙක් ආකාරයේ සංචාරණ ක්‍රම උපයෝගී කරගත හැකි වීම, පිහිටන අත් සහ පාද හොඳින් ග්‍රහණය කර ගැනීමට හැකි අයුරින් පිහිටා තිබීම නඛර වෙනුවට නිය පිහිටා තිබීම සහ ඇඟිලි කෙළවර ස්පර්ශන සංවේදන සඳහා විශේෂණය වූ සංවේදන ස්නායු පිහිටා තිබීම, යම් අයකුගෙන් දෙයක් බලා ඉගෙන ගැනීමට වැඩි ප්‍රවණතාවක් දැක්වීම සහ සමූහ වශයෙන් ජීවත් වීමටත් දිවා කාලයේ ක්‍රියාත්මක වීමටත් වැඩි ප්‍රවණතාවක් දැක්වීම ආදියයි.

අප හැරුණුවිට අපගේ ගෝත්‍රයට අයත් අනෙකුත් සත්වයින් වන උණහපුළුවන්, ලීමරයන් පුරාතන ලෝකයේ වඳුරන්, නූතන ලෝකයේ වඳුරන්  සහ වානරයන් අතරින් උණහපුළුවන් ( lorises ) විශේෂ 8 ක් පමණ ඉන්දියාව, ශ්‍රී ලංකාව , ගිණිකොණ දිග ආසියානු සහ අප්‍රිකානු නිවර්තන වනාන්තරවල දැකගත හැකිය. මෙම උණහපුළු විශේෂ අතරින් ස්ලෙන්ඩර් සහ ස්ලෝ ලොරීස් විශේෂ ආසියාවේ දැකගත හැකි අතර පොටෝ සහ ඇන්ග්වන්ත්තිබෝ යන විශේෂ අප්‍රිකාවේ දැකගත හැකිය. මෙම උණහපුළු විශේෂ සියල්ලම ඉතාමත් සෙමින් ගමන් කරන අතර ගොදුරක් පසුපස සෙමින් සෙමින් මුවාවෙමින් ලුහුබැඳ අල්ලා ගන්නා බව විද්‍යාඥයින්ගේ නිරීක්ෂණයයි. බොහෝ උණහපුළු විශේෂ සම්පූර්ණයෙන් ම කෘමිභක්ෂක වූවත් සමහරක් විශේෂ කෘමීන්ට අමතරව පළතුරු, කොළ වර්ග, මැලියම් වර්ග ද ආහාරයට ගනී.

මොවුන් බොහෝ විට ආහාර සොයා ගන්නේ තනිවම වන අතර බොහෝ ප්‍රිමාටාවන්ගෙන් දැකගත නොහැකි විශේෂ ලක්ෂණ උණහපුළුවන්ගේ ගැහැණු සත්වයින්ගෙන් නිරීක්ෂණය කළ හැකි බව ද විද්‍යාඥයින්ගේ නිරීක්ෂණයයි. එනම් ඔවුන් ආහාර සොයා යන්නේ පැටවුන් ගසෙහි අත්තක බෙනයක රඳවා යෑමෙන් වන අතර මෙය infant parking ලෙස හඳුන්වයි. ලොරීස් විශේෂවලට සහ ලීමරයින්ට  යම්කිසි ද්‍රව්‍යයක් හොඳින් අල්ලා ගැනීමේ හැකියාවක් සහ ගස්වලට නැඟීමේ හැකියාවක් ඇති අතර එමෙන්ම ඔවුන්ට හොඳින් වර්ධනය වූ දෘෂ්ඨි සංවේදනයක් ද ඇත. නමුත් ඇන්ත්‍රප්‍රොයිඩියා විශේෂවලට සාපේක්ෂව දියුණු ත්‍රිමාණ දෘෂ්ඨියක් නොමැති අතර වර්ණ පෙනීමේ හැකියාවක් ද නොමැත. නමුත් අනෙකුත් කුඩා ක්ෂීරපායී විශේෂවලට සාපේක්ෂව මොවුන් හට දීර්ඝ ජීවිත කාලයක් ඇත. උණහපුළුවෙක්ගේ ජීවිත කාලය සාමාන්‍යයෙන් වයස අවුරුදු 14 ක් පමණ වන අතර ලීමරයන් සාමාන්‍යයෙන් වයස අවුරුදු 19 ක් පමණ ජීවත් වේ.

පුරාතන ලෝකයේ වඳුරන් ගත්විට අප්‍රිකාවේ සහ ආසියාවේද, මැදපෙරදිග රටවල සමහර ප්‍රදේශයන් තුළද දැකගත හැකිය. මොවුන් විවිධ වාසස්ථානවල ජීවත් වන අතර නිවර්තන වර්ෂා වනාන්තර, අර්ධ ශුෂ්ක පරිසර පද්ධති ඇති කාන්තාර ප්‍රදේශවල, තෘණ භූමි සහ උතුරු ජපානයේ හිම වැටෙන කඳුකර ප්‍රදේශ මේ අතරින් විශේෂ වේ. මිනිසාට අමතරව ලෝකයේ වැඩිම ව්‍යාප්තියක් දක්වන සත්ව කණ්ඩායම වන්නේ මෙම පුරාතන ලෝකයේ වඳුරු විශේෂයන් ය. මොවුන් බොහොමයක් චතුර්පාදික වන අතර ප්‍රධන වශයෙන් රුක්වාසීහූ වෙති. නමුත් සමහර විශේෂවන බැබූන්, මැකන් විශේෂ භෞමික ජීවිතයට ද හැඩගැසී ඇත.

පුරාතන ලෝකයේ වඳුරන් සර්කොපිතකොයිඩියා යන උප පවුලට ද සර්කොපිතසිඩේ යන පවුලට ද අයත්වන අතර මෙම වඳුරන් හට ischial callosities ලෙස හඳුන්වනු ලබන තට්ටම් ප්‍රදේශයේ ඇති සමෙහි ඝණ වීමක් ද දක්නට ලැබේ. මෙය රළු පෘෂ්ඨ මත හිඳ ගැනීමේදී ශරීරයට වන අපහසුතාවය මඟ හැරීමට උපකාරී වේ. එමෙන්ම ඔවුන්ගේ චාර්වක දත් ද තන්තුමය ශාක කොටස් ආහාරයට ගැනීමට හැකිවීම සඳහා ද්විත්ව වැටි ආකාරයට සකස් වී ඇත. මෙම වර්ගයේ කුඩාම සත්ව විශේෂය වන්නේ බර 0.8 kg පමණ වන ටැලපොයින් නම් වඳුරු විශේෂයයි. විශාලතම සත්වයා වන්නේ බර 32 kg ක් පමණ වන බැබූන් ය. පුරාතන ලෝකයේ වඳුරන් අයත්වන සර්කොපිතසිඩේ පවුල නැවත උප කොටස් දෙකකට බෙදෙන අතර ඉන් සර්කොපතිතසිනේ උප පවුලට ආසියාවේ මැකන් වර්ග. ( මැකන් යනු රිලවුන් ය ) , අප්‍රිකාවේ බැබූන්, ගුඇනනෝන්, ඩ්‍රිල්, මැන්ගබී, සහ පටාස් යන වඳුරු විශේෂ අයත් වේ. කොලොබිනේ උප පවුලට ආසියාවේ වෙසෙන පත්‍ර බුදින වඳුරන්, ලැන්ගූර් වර්ග, ප්‍රබෝසිස් වඳුරන් සහ අප්‍රිකාවේ වෙසෙන කොලොබස් වඳුරන් අයත් වේ.

අනෙක් කොටස වන වානරයින් ගත් විට මොවුන් සුළු වානරයින් සහ මහා වානරයින් වශයෙන් කොටස් දෙකකට බෙදෙන අතර සුළු වානර කාණ්ඩයට ගිබන් සහ සියොමැන්ග් යන වානරයින් ද මහා වානර පවුලේ කොටස් දෙක යටතේ පොන්ගිඩේ පවුලට ඔරංඋටන්, ගෝරිල්ලන්, බොනොබෝ සහ චිම්පන්සීන් ද, හොමිනිඩේ පවුලට අතීතයේ සහ දැනට ජීවත්වන මිනිසුන් ද අයත් වේ. වානරයන් සහ මිනිසුන් වඳුරන්ගෙන් වෙනස්වන ලක්ෂණ කිහිපයක් මෙහිදී සළකා බැලිය යුතු අතර සාමාන්‍යයෙන් සාපෙක්ෂ වශයෙන් විශාල දේහ ප්‍රමාණයක් වානරයින්ට සහ මිනිසුන්ට හිමිය. වල්ගයක් නොමැත, වානරයින්ගේ පමණක් පූර්ව ගාත්‍ර අපර ගාත්‍රවලට වඩා දිගය, පේෂී පද්ධතිය වෙනස් ය, සංකීර්ණ වූ චර්යා රටාවන් ඇත, වඩාත් සංකීර්ණ වු මොළයක් සහ ඒත් සමඟම බුද්ධියක් ඇත, දරුවන් වැඩි කාලයක් දෙමාපියන්ගේ රැකවරණය මත යැපේ, වර්ධන කාලය දීර්ඝය, සංකීර්ණ වූ සමාජ රටාවන් ඇත, මහා වානරයින් හට ආයුධ තැනීමේ තාක්ෂණයක් ඇත.

අප හැරුණුවිට අපගේ ගෝත්‍රයට අයත් අනෙකුත් සත්වයින් වන උණහපුළුවන්, ලීමරයන් පුරාතන ලෝකයේ වඳුරන්, නූතන ලෝකයේ වඳුරන්  සහ වානරයන් අතරින් නූතන ලෝකයේ වඳුරන් දකුණු මෙක්සිකෝවේ වෙරකූස් නගරයේ සිට මධ්‍යම සහ දකුණු ඇමෙරිකාව දක්වා ජීවත් වේ. මොවුන්ගේ විශේෂ 70 ක් පමණ ඇතැයි විශ්වාස කෙරෙන අතර ඔවුහූ ප්ලැටිනරි නම් අධෝ ගෝත්‍රයට අයත් වේ. එමෙන්ම මෙම සත්වයින් සෙබොයිඩියා යන උපරි පවුලට අයත් වන අතර සියළුම නූතන ලෝකයේ වඳුරන් හට පොදු වූ ලක්ෂණ තුනක් ඇත.

ඒවා නම් මොවුන් දේහ ප්‍රමාණයෙන් කුඩාය, දැනට ජීවත්වන විශාලතම නූතන ලෝකයේ වඳුරු විශේෂය වන්නේ බර 12 kg ක් පමණ වන මුරිකි නම් වඳුරන් ය. මාර්මොසෙට් සහ ටැමරීන් යන විශේෂ කුඩාම නූතන ලෝකයේ වඳුරන් වන අතර ඔවුන්ගේ බර අවුන්ස 12 සිට රාත්තල් එක හමාර දක්වා විහිදේ. දෙවන ලක්ෂණය වන්නේ නූතන ලෝකයේ වඳුරන් හට පුරස්චාර්වක දත් තුනක් පිහිටා තිබීමය. අනෙකුත් සියළුම ඇන්ත්‍රප්‍රොයිඩියාවන්ට ඇත්තේ පුරස්චාර්වක දත් දෙකක් පමණි. තෙවන ලක්ෂණය වන්නේ නූතන ලෝකයේ වඳුරු විශේෂ සියල්ලම රුක්වාසීන් වීමය. දකුණු ඇමෙරිකාවේ තෘණ භූමි විශාල වශයෙන් තිබුණ ද මෙම වඳුරු විශේෂ භෞමිකව වාසය නොකරයි. එමෙන්ම නූතන ලෝකයේ වඳුරන් හට පරිග්‍රාහී වල්ගයක් ඇති අතර මොවුන් වල්ගයෙන් පමණක් අත්තක එල්ලී සිට අතු අග ඇති මල් පළතුරු ආදිය ආහරයට ගනිති.

මිනිසා හැරුණුවිට ප්‍රිමාටා ගෝත්‍රයට අයත් අනෙකුත් සත්වයින් පිළිබඳව මේ ආකාරයට කරුණු කෙටියෙන් දැක්විය හැකි අතර අවසාන වශයෙන් ගෝත්‍රයේ ප්‍රභලයා පිළිබඳව ද සාකච්ඡා කිරීම වටී. ප්‍රිමාටාවන් අතරින් සම්පූර්ණ වශයෙන් ම ද්වීපාද සංචරණයක් පෙන්නුම් කරණුයේ මිනිසා පමණි. මිනිසා සහ අනෙකුත් ප්‍රිමාටාවන් අතර ඇති සමීප සම්බන්ධතාවය මිනිසාගේ දේහ අංග මඟින් ද, අනෙකුත් ජාන සැකසී ඇති ආකරය සහ ජාන මඟින් ද හොඳින් පෙන්නුම් කරණු ලැබේ. දත් සැලකූ විට මිනිසාගේ රදනක දත් අනෙකුත් ප්‍රිමාටාවන්ට සාපේක්ෂව කුඩා වූව ද අනෙකුත් සියළුම දත් වානර දත්වලට බොහෝ සෙයින් සමානය. එමෙන්ම මිනිසාද ආඝ්‍රාණ සංවේදනයට වඩා දෘෂ්ඨි සංවේදනයට මුල් තැනක් දීම, අත් පා වල චලන පරාසය පුළුල් වීම සහ ග්‍රහණය කළ හැකි අත් පා පිහිටා තිබීම ද අනෙක් ප්‍රිමාටාවන් ට ඇති සමීප සම්බන්ධතාවය පෙන්නුම් කරයි.

මිනිසාද සර්වභක්ෂක වන අතර නමුත් නොයෙක් සමාජයන් අතර සමහර ආහාර සම්බන්ධයෙන් විවිධ වූ තහංචි පැනවීම් ඇත. එය ඔවුන්ගේ සංස්කෘතීන් හා බැඳී පවතින අතර අපගේ ආහාර මාර්ග පද්ධතිය ද විශාල පරාසයක ආහාර ජීර්ණය කිරීම සඳහා හැඩ ගැසී ඇත. මෙලෙස මිනිසා අනෙකුත් ප්‍රිමාටාවන්ට සමාන ලක්ෂණ පෙන්වූව ද ප්‍රිමාටාවන්ගේ හෝ අනෙකුත් සත්වයින්ගේ දක්නට නොලැබෙන සුවිශේෂී ලක්ෂණ කිහිපයක් ද පෙන්නුම් කරයි.  මෙයින් ඉතාමත් කැපී පෙනෙන ලක්ෂණය වන්නේ මිනිසාට ඇති ලිවීමේ සහ සිතීමේ හැකියාවයි. මෙයට අඩිතාලම වැටුණේ මෙයට අවුරුදු ලක්ෂ අටකට පමණ පෙර ක්‍රමිකව සිදු වූ පරිණාමීය ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් වශයෙන් මිනිසාගේ මොළයේ ප්‍රමාණය ඉතා විශාල ලෙස වැඩිවීම සහ ඒ ආශ්‍රිතව සිදු වූ ස්නායුක වෙනස්වීම් ය. එමෙන්ම මිනිසා සම්පූර්ණ වශයෙන් සංස්කෘතිය මත යැපීමට හුරු වූ සත්ව කොට්ඨාසයක් ද වේ.

Latest