Skip to content

අතහැර දමා ගිය මිනිස් ජාවාරම​!

මෙක්සිකෝවේ ජාතික සංක්‍රමණ ආයතනය විසින් අතහැර දැමූ ට්‍රක් රථයකින් සංක්‍රමණිකයන් 148 දෙනෙකු සිකුරාදා බේරා ගන්නා ලදී. ඡායාරූප මූලාශ්‍ර : CNN

ඉකුත් දා (21) විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ මෙක්සිකෝවේ අතහැර දමා ගිය ට්‍රක් රථයකින් පුද්ගලයින් 148 දෙනෙකු බේරා ගැනීම සඳහා එරට බලධාරීන් විසින් කටයුතු කරන ලද බවයි. මේ අතර කුඩා ළමුන් ද සැලකිය යුතු ප්‍රමාණයක් සිට ඇති බව එම වාර්තා වල වැඩිදුරටත් දැක්වේ.

මෙක්සිකෝවේ ජාතික සංක්‍රමණ පිළිබඳ ආයතනයට (Mexico’s National Institute of Migration) අනුව, ගිනිකොනදිග ප්‍රාන්තයේ Veracruz හි අධික උෂ්ණත්වය මධ්‍යයේ අධිවේගී මාර්ගයක පසෙකින් නතර කර දමා අතහැර ගොස් තිබූ මෙම ට්‍රක් රථය තුල සිටි පිරිස ඔවුන් විසින් පසුගිය සිකුරාදා දින ගලවාගෙන තිබේ.

මෙම පිරිස මධ්‍යම ඇමරිකානු සංක්‍රමණිකයින් වශයෙන් හඳුනාගෙන ඇති අතර දරුවන් 23 දෙනෙකු ද පිරිස අතර සිට තිබේ. ට්‍රේලර් පෙට්ටියක ඉතාම අවධානම් සහගත අයුරින් මෙම පිරිස රැගෙන ගොස් ඇති අතරම Minatitlán, Cordova අධිවේගී මාර්ගය අසල දී මොවුන්ව​ හැර දමා ගොස් තිබේ.

මෙක්සිකෝ ජාතික සංක්‍රමණ ආයතනය සඳහන් කර සිටින්නේ ට්‍රක් රථයේ රියදුරු තවමත් නිදැල්ලේ පසුවන බවයි. සංක්‍රමණිකයන් පැමිණ ඇත්තේ හොන්ඩුරාස්, ගෝතමාලා සහ එල් සැල්වදෝරයෙන් බව මේ වන විට සනාථ කොට ගෙන ඇති අතර​ ගලවා ගත් 148 දෙනාගෙන් තනිව ගමන් කරන කාන්තාවන් සහ පිරිමින් ද, 115 දෙනෙකුගෙන් සමන්විත පවුල් 44 ක්ද, බාලවයස්කරුවන් 23 දෙනෙක් ද වශයෙන් වර්ග කර ඇත​.

අවදානමට ලක්විය හැකි තත්වයන් යටතේ පසුවන පුද්ගලයින් සඳහා බලධාරීන් විසින් කඩිනමින් අදාළ සෞඛ්‍ය විධිවිධාන සපයා දීමට කටයුතු කර තිබේ. බාලවයස්කරුවන් සහ ඔවුන්ගේ පවුල් ඒකක සඳහා අවශ්‍ය ආරක්‍ෂාව සැපයීමට එරට නීතිපති කාර්‍යාලය විසින් කටයුතු කරනු ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් දැක්වේ.

ප්‍රචණ්ඩත්වය සහ දරිද්‍රතාවය යන කාරණා හමුවේ බැට කෑමට නොහැකිව පලා යන බොහෝ සංක්‍රමණිකයන් එක්සත් ජනපදය වෙත යන ගමනේදී නිතරම Veracruz ප්‍රාන්තය හරහා ගමන් කරනු ලබයි. ප්‍රචණ්ඩත්වය, දූෂණය සහ ආර්ථික අවස්ථා නොමැතිකම බොහෝ දෙනෙකුට වෙනත් විකල්ප ඉතිරි කර නොමැති අතර ගෝතමාලාව වැනි මධ්‍යම ඇමරිකානු රටවල සංක්‍රමණයන් යනු ඉතා සුලභ සිදුවීමකි.

නීතය්‍යානුකූල​ ලියකියවිලි නොමැතිව ගමන්ගන්නා මොවුන ගේ සංක්‍රමණ මාර්ගය බොහෝ විට ට්‍රේලර් රථයක් හෝ භාණ්ඩ ප්‍රවාහන දුම්රියකි. මෙම අන්තරායකර ගමනේ දී බොහෝ දෙනාට සිය ජීවිත වලින් පවා වන්දි ගෙවීමට සිදු වන අතර​, 2021 දී දකුණු මෙක්සිකෝවේ ට්‍රක් රථයක් පෙරළීමෙන් පුද්ගලයන් 55 දෙනෙකු මියගොස් 100 කට අධික පිරිසක් තුවාල ලැබීම​ ඒ සඳහා නිදසුනකි.

Latest