Skip to content

වල් වැදුණු "හරිත නගරය".

"හරිත නගර"සංකල්පය යටතේ රුපියල් මිලියන 4.5 ක මුදලක් වැය කර මාදම්පේ පැරණි නගරයේ ස්ථාපනය කර ඇති "ළමා උද්‍යානය සහ පරිසර මධ්‍යස්ථානය" මේ වන විට වල් බිහිවෙමින් අතහැර දමා ඇති ස්ථානයක් බවට පත්ව ඇත.

මාදම්පේ ප්‍රාදේශීය සභාව විසින් ස්ථාපනය කර ඇති මෙම ළමා උද්‍යානය සහ පරිසර මධ්‍යස්ථානය 2005 අගෝස්තු මස 13 වෙනිදා එවකට පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යධූරහ දැරූ ඒ.එච්.එම්.ෆවුසි මහතා විසින් විවෘත කර ඇත. එම අවස්ථාවට තවත් දේශපාලකයින් කීප දෙනෙකු සහභාගි වී ඇති බව මෙම ස්ථානයේ සවි කර ඇති සිහිවටන පුවරුවේ සදහන් වේ.

මාදම්පේ - මහවැව සීමා මායිම් කරමින් ගලා යන "කඩුපිටිඔයට" යාබවද මෙම ළමා උද්‍යානය සහ පරිසර මධ්‍යස්ථානය ඉදිකර ඇත. ළමා උද්‍යානය තුළ දරුවන්ට විනෝද වන්නට මෙන්ම,ක්‍රීඩා කළ හැකි උපකරණ රැසක් සවි කර ඇති බවක්ද දක්නට ඇත. වැසි කාලයේදී කඩුපිට ඔය පිටාර ගලා යයි. එවිට මෙම ළමා උද්‍යානයද එකම ජලාශයක් බවට පත් වන්නේය.

මෙම භූමිය තුළ දෙමහල් ගොඩකැගිල්ලක් ඉදිකර ඇත.එම ගොඩනැගිල්ලේ පහත මලය බොජුන් හලක් සදහාද,ඉහළ මාලය පරිසර තොරතුරු දැන ගැනීමට හැකි මධ්‍යස්ථානයක් ලෙසද පවත්වා ගෙන යාමට හලාවත ප්‍රාදේශීය සභාව අදහස් කර  තිබී ඇත.ඒ අනුව අවස්ථා කීපයකදී පහත මාලය බදු පදනම මත විවිධ පුද්ගලයින්ට ලබා දී තිබී ඇත. නමුත් බදු කරුවන් විසින් නිසි පරිදි බොජුන් හල පවත්වා ගෙන නොයාම හේතුවෙන් එය වසා දමා ඇත.

ඉහළ මාලය තුළ මාස කීපයක් පරිසර තොරතුරු මධ්‍යස්ථානයක් හලාවත ප්‍රාදේශීය සභාව විසින් පවත්වා ගෙන ගියත් එයද කාලයාගේ ඇවෑමෙන් වැසී ගොස් ඇත.

බොජුන් හල සහ පරිසර තොරතුරු මධ්‍යස්ථානය වසා දැමීමත් සමග ළමා උද්‍යානයට දරුවන්ගේ පැමිණීමද නතර වී ඇත.ඒ අනුව මේ වන විට මාදම්පේ ළමා උද්‍යානය ඉබි යතුරු දමා වසා තිබෙන ආකාරයක් එහි ගිය මෙම ලියුම්කරුට දැක ගන්නට හැකි විය.

කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අතහැර දමා ඇති මෙම ළමා උද්‍යානය සහ පරිසර මධ්‍යස්ථානය සම්බන්ධයෙන් විමසමින් මෙම ලියුම්කරු විසින් ඉකුත් මැයි මස 13 වෙනිදා තොරතුරු දැන ගැනීමේ පනතට අනුව හලාවත ප්‍රාදේශීය සභාව වෙත අයදුම්පත්‍රයක් යොමු කරන ලදි. එම අයදුම්පතට 2023 ජුනි මස 14 වෙනිදා හලාවත ප්‍රාදේශීය සභාවේ තොරතුරු නිලධාරී ඩබ්ලිව්.එම්.ආර්. වන්නිනායක මහතා විසින් පිළිතුරක් එවා ඇත. එම පිළිතුරට අනුව මෙම ළමා උද්‍යානය ඉදි කළ කාලයේ සේවය කළ නිලධාරීන් මේ වන විට සේවයේ නොමැති නිසා තොරතුර සොයා ගැනීමට හැකියාවක් නැත.

නමුත් මෙම ළමා උද්‍යානය සහ පරිසර මධ්‍යස්ථානය ස්ථාපනය කර ඇත්තේ ප්‍රදේශයේ ජනතවට සේවයක් ලබා දීම සදහාය. විශේෂයෙන්ම ළමා උද්‍යානය කුඩා දරුවන් සදහා වෙන් කරන්නට අදහස් කර ඇත. එමෙන්ම පරිසර තොරතුරු මධ්‍යස්ථානය පරිසර විෂය හදාරන දෙස් විදෙස් ගවේෂකයින් සදහා වෙන් කරන්නට අදහස් කර ඇත. ඒ අතර බොජුන් හල ළමා උද්‍යානය සහ තොරතුරු මධ්‍යස්ථානයට පැමිනෙන අයගේ ගිමන් නිවීම වෙනුවෙන් ස්ථාපනය කිරීමට අදහස් කර ඇත.

නමුත් එකී අදහස් - යෝජනා සියල්ල ආසන්නයෙන් ගලා බසින කඩුපිටි ඔය දිගේ ගසා ගෙන ගොස් ඇත්තේ රුපියල් මිලියන 4.5 ක මුදලක්ද විනාශ කරමිනි.

Latest