Skip to content

මෙක්සිකෝවේ මිලියන ගණනකට​ ඉවත් වීමට සූදානම් වන ලෙස අනතුරු ඇඟවීමක්!

2023 මැයි 18 වැනි දින මෙක්සිකෝවේ Puebla ප්‍රාන්තයේ සිට පෙනෙන පරිදි Popocatépetl ගිනි කන්ද අළු සහ දුම පිට කරන අයුරු දැක්වෙන ඡායාරූපයක්. මූලාශ්‍ර විදෙස් මාධ්‍ය තුලිනි.

Popocatépetl ගිනි කන්ද සක්‍රීය වීම හේතුවෙන් මෙක්සිකෝවේ මිලියන සංඛ්‍යාත ජනතාවකට ඉවත් වීමට සූදානම් වන ලෙස එරට බලධාරීන් විසින් අනතුරු අඟවා තිබෙනවා. ඒ ඉහත සදහන් කරන ලද රටේ වඩාත්ම භයානක ක්‍රියාකාරී ගිනි කන්දෙන් පසුගිය සතියේ සිටම​ අවට නගර කිහිපයකට අළු පතිත වීම වැනි තත්වයන් ඇතිවීම හේතුවෙනුයි. රටේ මධ්‍යම ප්‍රදේශයට වන්නට පිහිටා ඇති මෙම Popocatepetl ගිනිකන්දෙන් ඇති වූ අළු හේතුවෙන් මෙක්සිකෝ නගරයේ ගුවන් ගමන් ප්‍රමාද කර ඇති අතර නගර දුසිම් ගණනක පාසල් වසා දැමීමට ද බලධාරීන් විසින් කටයුතු කර ඇත.

ගිනිකන්දේ සැතපුම් 60 ක අරය තුළ මිලියන 25 ක පමණ ජනතාවක් ජීවත් වෙන බවට ගණනය කර ඇති අතර ඒ මෙක්සිකෝ නගරයේ සිට ගිනිකොන දෙසින් සැතපුම් 45 ක් පමණ වන්නට දුරින් පිහිටි Morelos, Puebla සහ මෙක්සිකෝ ප්‍රාන්තය අතර භූමි ප්‍රදේශයයි. ඉරිදා දින ජාතික සිවිල් ආරක්‍ෂණ සම්බන්ධීකරණය 'National Civil Protection Coordination (CNPC)' එහි ගිනිකඳු තර්ජන මට්ටම "කහ අදියර 3" (Yellow Phase 3) දක්වා වැඩි කර ඇති අතර, ගිනිකන්දට යාබද නගරවල සහ ගම්මානවල ජීවත් වන මිලියන 3 ක පමණ ජනතාවට සෝදිසියෙන් සිටින ලෙස සහ ඉවත් වීම​ සඳහා සූදානම් වන ලෙස ඉල්ලා තිබෙනවා.

ඒ සමගම​ ජාතික සිවිල් ආරක්‍ෂණ සම්බන්ධීකරණය අනතුරු අඟවා සිටින්නේ ගිනි කන්දේ ක්‍රියාකාරීත්වය වැඩිවීම හේතුවෙන් ආසන්න නගර කිහිපයකට අධික වේගයෙන් අළු විසිරී යාම සිදුවිය හැකි බවයි. මෙක්සිකෝ නගරයේ අන්තර්ජාතික ගුවන්තොටුපළ වන​ AICM සෙනසුරාදා දින තාවකාලිකව වසා දමා ඇති අතර ගිනිකන්දේ සක්‍රීයත්වය නිසා අළු තිබීම හේතුවෙන් සඳුදා දින සමහර ගුවන් ගමන් ප්‍රමාද වූ බවද​ ගුවන් තොටුපළ බලධාරීන් විසින් විදෙස් මාධ්‍ය දැනුවත් කොට ඇත​.

මෙක්සිකෝවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය සෙනසුරාදා අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ Popocatepetl ගිනි කන්ද මැයි 15 සිට වැඩි සක්‍රීය ආකාරයක් ප්‍රදර්ශනය කර ඇති අතර සිය ගණනක් කම්පන මෙන්ම දුම් සහ අළු පිටකිරීම් සිදුවී ඇති බවටයි. ගිනි කන්ද 1994 දී පුපුරා යන තෙක් දශක ගණනාවක් තිස්සේ නිද්‍රාශීලීව පැවතුන අතරම එතැන් පටන් එහි ඇතිවූ යම් යම් ඝෝෂා අවට නිවැසියන්ගේ දෛනික ජීවිතයේ කොටසක් බවට පත්ව ඇතැයිද වාර්තා වේ.


Latest