Skip to content

විකාශන අධිකාරී පනතට එරෙහි වෙන්න විපක්ෂයෙන් ඒකමතික තීන්දුවක්!

රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතිරි වී ඇති කොටසත් විනාශ කිරීමේ අරමුණින් වත්මන් රජය ගෙන ඒමට නියමිත විකාශන අධිකාරි පනතට විරුද්ධ වීමට සහ එය පරාජය කිරීමට ගත යුතු හා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග පාර් ලිමේන්තුව තුළත් ඉන් පිටතත් අධිකරණයේත් ගනු ලැබීමට සමඟි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (05) සඳහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ සිව්වැනි කුළුණ වන්නේ නිදහස් මාධ්‍ය බවත් ව්‍යවස්ථාදායක,විධායකය සහ අධිකරණය සංවරණ සහ තුළණ මඟින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ශක්තිමත් කරද්දි සිව්වැනි සංවරණ සහ තුලනය ලෙස නිදහස් මාධ්‍ය ලෝකයම පිළිගන්නා බවයි.

නමුත් වත්මන් රජය මෙවැනි විකාශන අධිකාරී පනත් හරහා නිදහස් මාධ්‍ය විනාශ කිරීමට සූදානම් වන බව ඔහු කියාසිටියේය.

මෙවැනිම ආකාරයේ පනතක් 1997 එවක රජය ඉදිරිපත් කළ මොහොතේ 1997 මැයි මස 5 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ. ආර්. බී. අමරසිංහ විනිසුරුවරයා කියා සිටියේ එම පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව යැයි ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

''වර්තමානයේ  ඉදිරිපත් වී ඇති මේ පනතත් එදා මෙන්ම සම්පූර්ණයෙන්ම රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි, දරදඩු, ප්‍රජාතන්ත්‍රවාදී විරෝධි, ප්‍රජාතන්ත්‍රවාදය කෙලසන, බරපතල, ජනතා නිදහස අවලංගු කරන පනතක්. මේ අවස්ථාවේ සියලුම මාධ්‍ය එකට එකතු වී මේ පනත පරාජය කළ යුතුයි. ආඥාදායී, දරදඩු, මුග්ධ මේ විකාශන අධිකාරී පනත සහමුළින්ම පරාජය කළ යුතුයි. නිදහස් මාධ්‍ය දිනවිය යුතුයි.''

විධායකය විසින් විවිධ භෝජන සංග්‍රහ පවත්වා විනිසුරුවන් දැඩි ලෙස අපහසුතාවට පත් කර ඇති බවත් අති වැදගත් අධිකරණ ක්‍රියාදායමක් ක්‍රියාත්මක මේ මොහොතේ එවැනි භෝජන සංග්‍රහ පැවැත්වීම අමනෝඥ ක්‍රියාවක් බවත් එබැවින් ස්වාධීන අධිකරණයට සහ අපක්ෂපාතී විනිසුරුවන්ට මෙවැනි බලපෑම් සිදු නොකරන ලෙසත් රටේ ජනතාව තුළ ඇති විශ්වාසය පළුදු වෙන ක්‍රියාදාමයන් සිදු නොකරන ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

එමෙන්ම රට තුළ ප්‍රජාතන්ත්‍ර විරෝධී දේවලට මෙන්ම ඒකාධිපතීත්වයට ආඥාදායකත්වයට කිසිදු තැනක් නොමැති බවත් ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට කළ හැකි සියලු ම දේ කිරීමට සූදානම් බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Latest