Skip to content

ව්‍යාජ ලෙස කාන්තාවන් පිටරට යවන ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට.

ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතනයක් විසින් සකස් කරන ලද බවට හුවා දැක්වෙන ව්‍යාජ අත් පත්‍රිකා භාවිතා කරමින්  විදේශ රැකියාවන් සදහා පිටත් කර යැවීම සදහා කාන්තාවන් බදවා ගත් පුද්ගලයෙකුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්ගම - නයාගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුවය.

ඉකුත් 05 වැනිදා ගාල්ල - රත්ගම ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

තම ආයතනයේ නාමය භාවිත කරමින් කිසියම් අයෙකු විදේශ රැකියා ඇති බව දැක්වෙන අත් පත්‍රිකා බෙදා හරිමින් සිටින බව බද්දේගම ප්‍රදේශයේ ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතනයක හිමිකරුවෙකු විසින් විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිළි කර ඇත. එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීම සිදු වීඇත.

උපාය දූතයෙකු යොදවා කර ඇති විමර්ශණයකින් අනතුරුව අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. සැකකරු කාලයක් තිස්සේ නීත්‍යාණුකූල නොවන ආකාරයට කාන්තාවන්ව රැකියාවන් සදහා විදේශ ගත කිරීමේ කටයුතු සිදු කර ඇති බවට සැකකරන්නේ යැයි වැටලීම කළ නිලධාරීන් සදහන් කරයි.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්ගම ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේදීය. තමන් විසින් රැකියාවන් සදහා විදේශ ගත කරන කාන්තාවන්ට සෙත් පතා ශාන්ති කර්ම සිදු කරන බවද සැකකරු පවසා ඇත. සැකකරු අත්අඩංගුවට පත්ව ඇත්තේ එවැනි ශාන්ති කර්මයක් සදහා පැමිණ සිටි විටදීය.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Latest