Skip to content

බාමියන් බුදුපිළිම ආශ්‍රිතව සංචාරක කලාපයක්

තමන් විසින්ම විනාශ කරන ලද බුද්ධ ප්‍රතිමා දෙකක් පිහිටි ස්ථානය නැරඹීම සඳහා මුදල් අයකිරීමට ඇෆ්ඝනිස්ථානයේ තලේබාන් සංවිධානය කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඇෆ්ඝනිස්ථානයේ බාමියාන් පළාතෙහි පිහිටි මීටර් 55 ක් සහ මීටර් 38 ක් උස වූ බුද්ධ ප්‍රතිමා ලෝකයේ උසම හිටි බුදු පිළිම ලෙස ප්‍රසිද්ධ වී තිබුණි. වසර 1500 ක් මුළුල්ලේ ඒවා බාමියාන් පළාතේ පර්වත මුහුණතක සාරන ලද විශාල කුහර දෙකක් තුළ ප්‍රතාපවත් ලෙස නැගී සිටියේ ය​. එවකට ඇෆ්ඝනිස්ථානය පාලනය කළ තලේබාන් සංවිධානය විසින් 2001 දී මෙම පිළිම විනාශ කරන ලදී. හිටපු තලේබාන් නායක මුල්ලා මොහොමඩ් ඔමාර් සඳහන් කළ පරිදි එම ප්‍රතිමා "මිථ්‍යා දෘෂ්ටික​" ආගමක දෙවිවරයකුගේ වූ හෙයින් විනාශ කළ යුතු විය​. බුදු පිළිමවල​ ආගමික මෙන්ම ඓතිහාසික සහ​ සංස්කෘතික වටිනාකම ද ඔවුන්ට අදාල නොවී ය​. තලේබාන්වරුන් මෙම ක්‍රියාව හේතුවෙන්, අසංස්කෘතික​, ම්ලේච්ඡ කොටසක් ලෙස බොහෝ දෙනාගේ අප්‍රසාදයට ලක් විය​.

තලේබාන්වරුන් 2001 දීම බලයෙන් නෙරපන ලද අතර බාමියාන් ප්‍රදේශයෙහි ඉන් පසු කාලීනව ද පුරාවිද්‍යා පර්යේෂණ සිදුවිය​. උදාහරණයක් ලෙස ගතහොත් 2008 දී කන්දෙහි වූ ගුහාවක චිත්‍ර කිහිපයක් හමුවූයේ ය​. ඒවා තෙල් සායමින් පින්තාරු කළ ලොව පුථම චිත්‍ර යයි විශ්වාස කෙරේ.

පර්වතය දිගේ බුදු පිළිමවල ඉහළ කොටස තරම් උසට නැගිය හැකිවන සේ මාවත් අතීතයේදී ද නිර්මාණය කරනු ලැබ තිබුණි. වර්තමානයේදී ද බුදු පිළිම වූ ස්ථානයන් හි කුහර දෙක එලෙස වන අතර පර්වතයෙහි තනන ලද මාර්ග සහ එහි පවතින ගුහාවන් එලෙසම වෙයි. චිත්‍ර ආදී අනෙකුත් පුරාවිද්‍යාත්මක සාධක හමුව තිබෙන්නේ මෙම ගුහා ආශ්‍රිතව ය​,

2021 දී ආපසු ඇෆ්ඝනිස්ථානයේ බලයට පැමිණි තලේබාන්වරු මේ වනවිට දැඩි අර්බුදවලට මුහුණ පා සිටිති. දශක හතරහමාරකින් පසු පළමු වරට රටේ තත්ත්වය මඳක් සාමකාමී වී තිබීම යහපත් ලක්ෂණයක් බව සැබැවි. එහෙත් ඇෆ්ඝනිස්ථානය යුද්ධයෙන් විනාශ වූ, ආර්ථිකය කඩා වැටුණු රටකි. එරට ජනතාවගෙන් විශාල කොටසකට ජීවත් වීමට අවශ්‍ය මූලික අවශ්‍යතා සපයාගැනීම ද අපහසුය​. රජය ද මුදල් හිඟයෙන් පීඩා විඳියි. එහෙයින් එරට සංචාරක කර්මාන්තය දියුණු කිරීම පිළිබඳ තලේබාන්වරුන්ගේ අවධානය යොමුව ඇති බවක් පෙනී යයි. බාමියාන් බුදු පිළිම තිබුණු පර්වතය ආශ්‍රිත ප්‍රදේශයෙහි සංචාරක මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම එහිම දිගුවකි.

දේශීය සංචාරකයන් අතර බාමියාන් පිළිබඳ යම් උද්‍යෝගයක් පවතී. 2022 රාමසාන් සමයෙහි ඇතැම් දිනවල දිනකට සංචාරකයන් 1,000 ඉක්මවා මෙහි පැමිණි බව බාමියාන් පළාත් බලධාරීහු පවසති. කෙසේ වෙතත් ඔවුන් සඳහා නවාතැන් සහ අනෙකුත් පහසුකම් තිබුණේ මඳ වශයෙනි. එහෙයින් එම පහසුකම් දියුණු කිරීම කෙරෙහි තලේබාන්වරුන්ගේ අවධානය යොමුව තිබේ. මෑතක් වනතුරු බාමියාන් පිළිම පිහිටි ස්ථාන නැරඹීමට මුදල් අය නොකෙරිණ​. නමුත් දැන් තලේබාන්වරුන් ඒ සඳහා මුදල් අයකිරීම සඳහා යොමුව ඇත​.

කෙසේ වෙතත් මෙම ඓතිහාසික ස්ථානයෙහි මානව ක්‍රියාකාරකම් වැඩිවීමත් සමග එහි ඇති පුරාවිද්‍යාත්මක වැදගත්කමින් යුක්ත වස්තූන්ට හානි පැමිණේ යයි පුරාවිද්‍යාඥයෝ සැක පහළ කරති. තවද දේශීය සංචාරකයන් යම් පිරිසක් මෙහි පැමිණියත්, තලේබාන්වරුන් බලාපොරොත්තු වන ආකාරයේ උද්‍යෝගයක් විදේශිකයන් වෙතින් ඇති වේදැයි සැක සහිත ය​.

Latest