Skip to content

බිහිරි හා සන්නිවේදන ආබාධ ඇති පුද්ගලයන් සඳහා තැපැල් ඡන්දය වැනි ක්‍රමයක්

ජයලත් දිසානායක - බදුල්ල - 2023.05.19

බිහිරි හා සන්නිවේදන ආබාධ ඇති පුද්ගලයන් සඳහා ඡන්දය භාවිතා කිරීමේදී වෙනත් ක්‍රමයක් ගැන සොයා බලන බවත් එය තැපැල් ඡන්දය වැනි ක්‍රමයක් විය හැකි බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාවේ සභාපති නිමල් ජී පුංචිහේවා මහතා පැවැසීය.

බිහිරි පුරවැසියන් මැතිවරණ කටයුතු සඳහා එක් කරගැනීම සම්බන්ධයෙන් පැවැති වැඩමුලුවකදී නිමල් ජී පුංචිහේවා මහතා මේ බව සඳහන් කළේය.

මෙම වැඩමුළුවට සංඥා භාෂා භාවිතා කරන බිහිරි වූවන් සහ සන්නිවේදන අපහසුතා ඇති 75 දෙනෙකු එක්ව සිටියහ. ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනය මගින් මෙම වැඩමුළුුව සංවිධානය කර තිබුණි.

මෙම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමයට කටයුතු කර ඇති අතර එහි පලමු අධියර කොළඹ, ගම්පහ, කලුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල, මොණරාගල යන දිස්ත්‍රික්ක එකතු කරමින් ඇඹිලිපිටියේදී පැවැත්විණි.

මෙම වැඩමුළුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාවේ සභාපති නිමල් ජී පුංචිහේවා මහතා

ඡන්ද බලයට හිමිකම් තියන විශාල ප්‍රමාණයකට ඡන්දය ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. රටේ ජනගහණයෙන් ආබාධිත ප්‍රජාව ගත්තම ලක්ෂ 16ක් විතර  ඉන්නවා. ලක්ෂ 16ක ප්‍රමාණයෙන් ලක්ෂ 12කට වත් ඡන්ද බලය තියෙනවා. මේ ලක්ෂ 12 ඡන්දය සම්පූර්ණයෙන් ප්‍රකාශ කරා නම් මේ රටේ පසුගිය කාල වල ආපු ආණ්ඩු, ජනාධිපතිවරු වෙනස් වෙන්න තිබුණා.

ප්‍රායෝගික හේතු මත ඔවුන්ට ඒ අවස්ථාව ලැබෙන්නේ නෑ. ඒ  ලැබෙන්න තියෙන අවශ්‍ය පහසුකම් ඒ ආකාරයෙන් සැලසිලා නෑ. කොමිෂන් සභාව කරන්නේ ඔබ කෙරෙහි තියෙන ආදරයට, කරුණාවට, දයාවට ඔබව මේකට සම්බන්ධ කර ගන්නවා නෙවෙයි.  ඡන්ද බලය හා මේ රටේ පාලන බලයට හවුල් වීමයි. එය රටේ ඉන්න පුරවැසියන්ගේ අයිතියක්. මේ රටේ පුරවැසියෝ හැටියට ඔබටත් ඒ අයිතිය තියෙනවා.  ඒ අයිතිය ක්‍රියාත්මක කර දීමේ වගකීම ඒකට අදාළ ආයතන සතු වගකීමක් හැටියට තමයි කොමිෂම සලකන්නේ.

Latest