Skip to content

ප්‍රමිතියෙන් තොර පලිබෝධ නාශක වැටලීම සඳහා විශේෂ කණ්ඩායමක්

නීති විරෝධි අයුරින් මෙරටට ගෙන්වන පළිබෝධ නාශක පිළිබද වැටලීම සදහා මධ්‍යම පළාත තුළ විශේෂ වැටලීම් කණ්ඩායම් යොදවන ලෙස කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතා මධ්‍යම පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ එස්.එම්.ආර් බණ්ඩාර මහතා වෙත දැනුම් දුන්නේය.

අමාත්‍යවරයා මෙසේ උපදෙස් දෙන ලද්දේ මධ්‍යම පළාතේ කෘෂිකාර්මික ගැටළු සම්බන්ධයෙන් විමසා බැලීම සදහා මහනුවර දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී පැවති විශේෂ රැස්වීමකදීය.

නීති විරෝධි ලෙස මෙරටට ගෙන්වන පලිබෝධ නාශකවල ප්‍රමිතිය ඉතා පහත් මට්ටමේ පවතින බව කමිටුවට පැමිණි කෘෂිකාර්මික නිලධාරීන් රැසක් පෙන්වා දුන් අතර, ඒවා සෞඛ්ය සම්බන්ධයෙන්ද ගැටළුකාරි තත්වයන් රැසක් ඇති කරවන බවද පෙන්වා දෙන ලදී.

පලිබෝධ නාශක රෙජිස්ටර් කාර්යාලය මගින් මේ සම්බන්ධයෙන් දිවයින පුරා වැටලීම් කළද, එම වැටලීම් ප්‍රමාණවත් නොවන බව පැවසූ අමාත්යවරයා මධ්යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටද මේ සම්බන්ධයෙන් මැදැහිත්වීමේ නෛතිකමය තත්වයක් පවතින නිසා කඩිනමින් වැටලීම් ආරම්භ කරන ලෙස මධ්යම පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා වෙත උපදෙස් දෙන ලදී.

කමිටුව හමුවේ අදහස් දැක්වූ මධ්යම පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා නිවෙස් වල සහ ජංගම අලෙවි රථවල තබාගෙන ඉතා රහසිතගත සහ උපක්‍රමශීලි ලෙස මෙම නීති විරෝධි වෙළඳාම සිදු කරන බවට තම දෙපාර්තමේන්තුවට වාර්තා වූ බවත්, ඉදිරියේදී ඒ සදහා විශේෂ වැටලීම් කණ්ඩායම් යොදාවන බවත් පැවසුවේය.

ඉකුත් සමයේ පළිබෝධ නාශක ආනයනය කිරීමේ අඩුවක් සිදු වූ නිසා නීති විරෝධි ලෙස මුහුදු මගින් මෙවැනි පලිබෝධ නාශක ගෙන්වා ඇති බව පැවසූ පළාත් අධ්‍යක්ෂවරයා නැවත රට යථා තත්වයට පත්ව ඇති බැවින් එවැනි පලිබෝධ නාශක ගෙන්වීම අවම විය හැකි බවද පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීම මත නාවික හමුදාව මගින්ද වැටලීම් සිදු කරන බව පැවසූ අමාත්යවරයා, ඉදිරියේදී මෙම තත්ත්වය බොහෝ සෙයින් පාලනය කරගත හැකි වනු ඇති බවද පැවසුවේය.

මෙම අවස්ථාව සදහා මහනුවර සහ මාතලේ දිස්ත්රික් ලේකම්වරුන් වන චන්දන තෙන්නකෝන් සහ තේජානි තිලකරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු කෘෂිකාර්මික ක්ෂේස්ත්‍ර වලට අයත් නිලධාරීන් රැසක්ද සහභාගී වූහ.

Latest