Skip to content

ලෝකයේ පළමු වරට තනි වර්ණ ජිරාෆයෙක්..

ලෝකයේ පළමු වරට ලප නොමැති ජිරාෆ් පැටවෙක් අමෙරිකාවේ බ්‍රයිට් සත්ව උද්‍යානයේදී උපත ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙසේ  බිහිව ඇති මෙම ජිරාෆ් පැටවා ගැහැණු සතෙකු වන අතර උගේ මුළු ශරීරයම ඒකාකාර දුඹුරු පැහැයක් ගෙන ඇත.

ජිරාෆ් සත්ත්වයින්ට ආවේණික සුවිශේෂී පැල්ලම් රටා මෙම පැටවාගේ දක්නට නැති අතර දැනට අඩි 6ක් පමණ උසින් සිටින පැටවා මවගේ රැකවරණය යටතේ පෝෂණය ලබන බවත් විදෙස් මාධ්‍ය විසින් වැඩිදුරටත් වාර්තා කර තිබේ.

ඇමරිකාවේ ලයිම්ස්ටෝන් හි බ්‍රයිට්ස් සත්වෝද්‍යානයේ දී මෙම කැළැල් රහිත ජිරාෆ් උපත ලබා ඇති අතර සත්වෝද්‍යානය පවසන්නේ ඇය දැනට ලොව  සිටින එකම ඝන-වර්ණ රෙටිකියුලේටඩ් ජිරාෆ් බව විශේෂඥයින් විශ්වාස කරන බවයි.

සත්වෝද්‍යානය විසින් මේ වන විට ජිරාෆ් පැටවා සඳහා නම් තැබීමේ තරඟයක්ද ප්‍රකාශයට පත් කර ඇති අතර, එම සත්වෝද්‍යානය පැවසුවේ ඒ සදහා මේවන විට නම් හතරක් යෝජනා වී ඇති බවයි.   ඉන් පළමු වැන්න "කිපෙකී" ය.  එහි තේරුම අද්විතීයයි යන්නයි. දෙවැන්න "ෆිරියාලි" ය. එනම් "අසාමාන්‍ය "  යන්නයි.  තෙවැන්න "සකිරි" වේ. එහි තේරුම "ඇය වඩාත්ම ලස්සනයි" යන්නය. සිව් වැන්න " ජමෙල්ලා" ‍ය. එයින් හැගවෙන්නේ  "විශිෂ්ට අලංකාරය" යන්නයි.
රෙටිකියුලේටඩ් ජිරාෆ් යනු දුඹුරු සහ තැඹිලි පැහැති ලප සහිත ජිරාෆ් විශේෂයකි. ඔවුන් අප්‍රිකාවට ආවේණික වන අතර 2018 දී ජිරාෆ් සංරක්ෂණ පදනමට අනුව වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතෙකු ලෙස ලැයිස්තුගත කර ඇත.

"අපගේ රටා රහිත ජිරාෆ් පැටවා පිළිබඳ ජාත්‍යන්තර ආවරණය හේතුවෙන් ජිරාෆ් සංරක්ෂණය පිළිබඳ ඉතා අවශ්‍ය අවධානයක් ඇති කර තිබේ", බ්‍රයිට්ස් සත්වෝද්‍යානයේ නිර්මාතෘ ටෝනි බ්‍රයිට් පැවසීය.

Latest