Skip to content

30%ක ආචාර්ය හිඟයක්- විශ්ව විද්‍යාල අධ්‍යාපනයත් අර්බුදයක!

ආචාර්යවරුන්ගේ හිඟය හේතුවෙන් විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාමේ අර්බුදයක් මතුව ඇතැයි විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය අද (12) මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසුවේය.

ඒ අනුව සමස්ත රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ ආචාර්ය හිඟය 30%ක් පමණ බවයි එම සමිති සම්මේලනය සඳහන් කළේ.

වසරකට ආචාර්යවරු 500ක් පමණ රට හැර යන බවද ඔවුන් පැවසුවේය.

විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ උප සභාපති මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ ආචාර්ය හිඟයට ජුනි මාසය වන විට විසඳුමක් දෙන බවට ජනාධිපතිවරයා පැවසුවද තවමත් ප්‍රශ්නය එලෙසම පවතින බවයි.

ආචාර්යවරු නොමැතිව අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යා නොහැකි අතර අධ්‍යාපනය ඇනහිටියහොත් රට වැටෙන බවයි ඔහු පැවසුවේ.

''මොන රටේද කැබිනට් තීරණ අරගෙන ගස් කැපුවේ. අපිට ආණ්ඩු පෙරලන්න වුවමනාවක් නෑ. මේකේ ප්‍රතිඵල ජනතාවට ලැබෙන කොට ගොඩගන්න බැරි තැනට වැටිලා. මේ ප්‍රශ්නය කියන්න ඕන හැම තැනකටම කිව්වා. හරියට මේ අය කතන්දර සීයලා වගේ. අලුතින් ගෙනත් තියෙන නීති නිසා ආචාර්යවරුන්ට රැකියාවෙන් ඉවත්වෙන්න වෙලා. අධ්‍යාපනය,සෞඛ්‍ය බිද වැටුනට පස්සේ දුප්පත් මිනිසුන්ට ගොඩ එන්න විදිහක් නෑ. මේවට විරුද්ධව අපි පෙරට එනවා.මේවා විසදුවේ නැත්නම් ආණ්ඩුවට ගෙදර යන්න නිර්මාණශීලි පියවර ගන්නවා'' යනුවෙන් ඉලංගසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

Latest