Skip to content

සංචාරක කර්මාන්තයේ වාර්තාගත නැග්මක්! වසර හතරකට පසු උදා වූ හොඳම ජූනිය!

පවතින ආර්ථික අර්බුදය මැද වුවද යම්කිසි ලෙසකින් සංචාරක කර්මාන්තයේ නැග්මක් සිදුවෙමින් පවතින බව සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වාදෙයි.

වසර හතරකට පසු වාර්තා ගත ලෙස පසුගිය ජූනි මාසයේ සංචාරකයන් 100,388 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි ඔවුන් පවසන්නේ.

ඒ අනුව වසර හතරකට පසුව වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ තිබෙන ජූනි මාසය, මේ ජූනි මාසය ලෙස වාර්තා ගත වී තිබේ.

වසරේ ගෙවුණු මුල් මාස හය තුළ පැමිණ තිබෙන සමස්ත සංචාරකයන් ගණන 624,874 ක් වන තර 2022 වසර හා සසදා බැලීමේ දී එය 206% ක වර්ධනයක් ලෙස දැක්වෙන නමුත් රට තුළට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ තිබෙන 2018 වසර හා සසදා බැලීමේ දී මේ වසරේ මුල් මුල් මාස හය තුළ පැමිණ තිබෙන සංචාරකයන් සංඛ්‍යාව 46% ක අඩුවක් පවතින බව ද සඳහන්.

කෙසේවෙතත් යළි ක්‍රමානුකූලව සංචාරක කර්මාන්තය හිස ඔසවමින් පවතින අතර ඊට අදාළ නව්‍යතා ඉදිරියේදී හඳුන්වා දීමටද නියමිත බවද එම අධිකාරිය සඳහන් කරයි.

මේ අතර  පසුගිය ජනවාරි සිට මැයි දක්වා සංචාරක ඉපයීම් ඇමරිකන් ඩොලර් මිලියන 828ක් ලෙස වාර්තා වී තිබේ.

2022 වසරේ අනුරූප කාල පරිච්ඡේදයේ ඇමරිකන් ඩොලර් මිලියන 635 ක් ලෙසයි දැක්වෙන්නේ. ඒ අනුව 2022 මැයි දක්වා කාල පරිච්ඡේදයට සාපේක්ෂව 2023 වසරේ අනුරූප කාල පරිච්ඡේදයේ ඇමරිකන් ඩොලර් මිලියන 193ක වර්ධනයකි.

Latest