Skip to content

බන්ධනාගාරයට ගිය ආණ්ඩුකාරවරයාට යෝජනාවක්..!

මහවැලි ගග අපේ රටේ ඇති දිගින් විශාලතම ගංගාව වන්නේය. කිලෝ මීටර් 335 ක් එහෙමත් නැත්නම් සැතපුම් 208 ක දිගකින් යුත් මහවැලි ගංගාව අප රටේ මුළු වපසරියෙන් 1/5 ක් වසා ගෙන ඇත.

ත්‍රීකුණාමළයට ඔබ්බෙන් වූ කොඩ්ඩියාර් බොක්කෙන් මහ මුහුදට වැටෙන මහවැව ගංගාව ආරම්භ වන්නේ ශ්‍රී පාද ස්ථානයෙන් බව කියවේ. නමුත් තවත් පිරිසක් කියා සිටින්නේ මහවැලි ගංගාව ආරම්භ වන්නේ මහවිල ප්‍රදේශයේ පොල්වතුරෙහි නම් ස්ථානයෙන් බවය. මහවැලි ගංගාව තුළ විශාල ස්වාභාවික වැලි කදු පිහිටා ඇති බවද සත්‍යයකි."විශාල වැලි" යන්න පසු කළෙක මහවැලි වූ බවද කියවේ.

මහවැව ගංගාව පිළිබදව පූර්විකාවක් ලියන්න සිදු වූ හේතුවක් විය. එනම් මහවැලි ගංගාවේ ජලය දුෂණය වී ඇති බවත්, එයට හේතුව වී ඇත්තේ අප ද්‍රව්‍ය ජලයට මිශ්‍ර වීම නිසා බවත් වූ පුවත් නිසාය. මල අප ද්‍රව්‍ය වැඩියෙන්ම මහවැලි ගංගාවට එකතු වී ඇත්තේ කුණ්ඩසාලේ පිහිටි දුම්බර බන්ධනාගාරයෙන් බවද එම පුවතින් කියවුණි.

මහවැලි ගංගාව දුෂණය වන්නේ දුම්බර බණ්ධනාගාරයෙන්ම පමණක් නොවන බව පැහැදිලිය. මන්ද අපේ රටේ ඇති පොදු ස්ථාන වල අප ද්‍රව්‍ය බොහෝමයක් බැහැර කරන්නේ කිසියම් ජලය රැදුණු ස්ථානයකට වන බැවිනි. "ඔක්කොම කුණු බේරේට" යන වැකිය ඊට හොදම උදාහරණය වන්නේය.

එසේම අප රටේ බොහෝ නගර වල පානීය ජලය ලබා ගන්නා මුලාශ්‍ර වන්නේද ජලය රැදුණු ස්ථානය. එම හේතුව නිසා මහනුවර අවට පදිංචිකරුවන්ට මහවැලි ජලය පානය කිරීම සදහා ලබා දෙන බව කියන කථාවේ මුසාවක්ද නැත්තේම නොවේ.

ඉහත චෝදනාව බොහෝ විට පවසා ඇත්තේ දුම්බර බන්ධනාගාරය ට පහළ ප්‍රදේශ වල ජීවත් වන පිරිස් වන්නනට ඇති. මේ චෝදනාව එල්ල වූ සැනින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරතව ඇත. දුම්බර බන්ධනාගාරයට යන්නටද ආණ්ඩුකාරවරයා අමතක කර නැත. බන්ධනාගාරයෙන් අප ද්‍රව්‍ය පිටවන ආකාරය නිරීක්ෂණය කර ඇති ආණ්ඩුකාරවරයා පවතින තත්ත්වයට කඩිනමින් විසදුම් ලබා දීමට කටයුතු කරන ලෙසද අදාල බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. එය ඉතාමත්ම පැසසිය යුතු කරුණක් වන්නේය.

පානීය ජලයට මිනිස් මල සහ මුත්‍රා එකතු වීම ඉතාමත්ම අහිතකර වන්නේය. නමුත් මහවැලි ගගේ ඉහළ කොටසින්ද ඊට මල මුත්‍රා එකතු වන බව මෙම ලියුම්කරු විසින් විසින් කරන ලද සොයා බැලීමකදී අනාවරණය කර ගැනීමට හැකි විය. මහවැලි ගංගාව ගලා බසින ඇතැම් කදුකර ස්ථාන වල ජනාවාස පිහිටා ඇත. එම ජනාවාස වල ජීවත් වන බොහෝ දෙනෙකුට වැසිකිළි සහ කැසිකිළි පහසුකම් නොමැති බවද අප විසින් කරන ලද සොයා බැලීමකදී අනාවරණය විය.

එසේම ආසන්නයේ සිදු කරන කෘෂි කර්මන්තය නිසාද අප රටේ ගංගා පද්ධතිය දුෂණය වන බව සත්‍යයකි. මහවැලි ගංගාවට මෙම න්‍යාය අදාල නොවේ යැයි කියන්න කාටවත් හැකියාවක් නැත. කෘෂිකාර්මික ඉඩම් හරහා ගලා එන ජලයේ ඇති රසායණික පොහොර සහ කෘමි නාශකද ගංගා වලට මුසු වීම වැළැක්වීමේ ක්‍රමයක් අප රට තුළ තවමත් ක්‍රියාත්මක නොවන්නේය.

එමෙන්ම කුමන මුලාශ්‍රයකින් ලබා ගත්තද එම ජලය පානය කිරීම සදහා මුදා හැරීමට පෙර පිරිසිදු කිරීම සිදු කරයි. රුපියල් කෝටි ගනනක් වියදම් කර ජල පිරිපහදු මධ්‍යස්ථාන ස්ථාපනය කර ඇත්තේ ඒ නිසාය.එසේ පිරිපහදු කරන ජලය සාම්පල වශයෙන් ගෙන නැවත වතාවක් රසායනාගාර තුළදී දැඩි පරීක්ෂාවකට ලක් කරති.එසේ කරණුයේ එම ජලයේ මිනිස් සිරුරට අහිතකර බැක්ටිරියා හෝ වෙනත් ද්‍රව්‍ය ඇත්දැයි සොයා බැලීම සදහාය.ඒ සදහාද වාර්ෂිකව විශාල මුදලක් වැය කරති. නමුත් ගැටළුවට මුහුණ පා ඇති ජනතාව මාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශ දෙස බැළු විට ඉහත  කාර්යන් සිදුවී නොමැති බව අනුමාන කළ හැක.

මහවැලි ගගට මල මුත්‍රා ඇතුළු අප ද්‍රව්‍ය දුම්බර බන්ධනාගාරයෙන් එකතු වන්නේ දැයි සොයා බැලීමට ආණ්ඩුකාරවරයා ගත් ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් අපි නැවතත් ඔහුට ස්තූතිය පුද කරමු. ඒ අතර තුර යන - එන වෙලාවක හෝ පානීය ජලය බෙදා හරින ජල යෝජනා ක්‍රම වල ඇති පිරිපහදු ඒකක සහ රසායනාගාර සම්බන්ධයෙන්ද සොයා බලන ලෙස අපි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට ‍යෝජනා කර සිටිමු. මන්ද කාගේ හෝ නොසැලකිල්ලක් හේතුවෙන් මහජනතාව පානය කරන්නේ අපද්‍රව්‍ය හෝ මිනිස් මල මුත්‍රා සහිත ජලය නම් එය අපරාධයක් වන බැවිනි. එමෙන්ම එම ජලය පානය කර ඇති වන රෝගා බාධ සුව කිරීම සදහා වැය කරන්නට වන්නේද මහජනතාවගේ මුදල් වන බැවිනි.

Latest