Skip to content

කුරුණෑගලින් පැල දස දහසක වන ව්‍යාපෘතියක්

ප්‍රයෝජනයට නොගන්නා රජයේ ඉඩම් වල ඖෂධීය ගුණයෙන් යුත් පැල 10,000 ක් සිටුවීමට කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කටයුතු යොදා ඇත.

"පරිසරයට, සොබා දහමට, අනාගත පරපුරට දස දහසක වන ව්‍යාපෘතිය" යනුවෙන් මෙම වැඩ සටහන නම් කර ඇත.

මෙම වැඩ සටහන යටතේ මී,කුඹුක් සහ සියඹලා යන පැල වර්ග රෝපණය කිරීමට නියමිත බව කුරුණෑගල දිසා ලේකම් ආර්.එම්.රත්නායක මහතා සදහන් කරයි.

තරුණ පිරිස් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩ සටහන තුළින්,රැකියා උත්පාදනය,භූ සම්පත රැක ගැනීම,ජල උල්පත් ආරක්ෂා කිරීම,දේශීය ඖෂධ ලබා ගැනීම තුළින් අනාගතයේදී විදේශ විනිමය මෙරටට ගෙන ඒමටද සළසුම් කර ඇත.

බීජ සම්පාදනය කර ගැනීමෙන් පසුව තවාන් දැමීමත්, පැල අඩි 05 ක් පමණ උස් වූ විට රෝපණය කිරීමත් මෙම වැඩ සටහනේ ඇති විශේෂත්වයකි. මේ වන විටත් ආගමික ස්ථාන, පාසල්, මාර්ග දෙපස, සොහොන් පිටි, ආශ්‍රිතව පැල 1500 ක් පමණ රෝපණය කර ඇත.

ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ආරම්භ කර ඇති මෙම රුක් රෝපණ වැඩ සටහන ඉදිරි දින වලදී කුරුණෑගල දිස්ත්‍රික්කය පුරාම ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

Latest