Skip to content

සිරකරුවෙකු බන්ධනාගාර නිලධාරීන්ගේ ඇඳුමක් ඇඳ වැලිකඩින් පැනයයි.

වැලිකඩ බන්ධනාගාරයේ මිනි මැරුම් චෝදනාව යටතේ මරණීය දණ්ඩනය නියමව සිටි සිරකරුවෙක් වැලිකඩ බන්ධනාගාර නිලධාරින්ගේ නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී අද (25) පෙරවරුවේ බන්ධනාගාරයෙන් පලා ගාස්  මරදානේ දුම්රිය ස්ථානයේ දුම්රියක නැග සිටියදී අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා දුම්රිය ආරක්ෂක අංශය පවසයි.

මෙම සිරකරු අද (25) උදෑසන 09.30ට පමණ ආගමික වැඩසටහනක් සදහා ඔහු රඳවා සිටි සිරමැදිරියෙන් පිටතට ගත් අවස්ථාවේ එම ස්ථානයෙන් සුක්ෂම ලෙස මිදී ඔහු විසින්ම සගවාගෙන සිටින ලද බන්ධනාගාර නිළධාරියෙකුගේ නිළ ඇදුමට සමාන ඇදුමකින් සැරසී බන්ධනාගාර නිළධාරීන්ට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් වැලිකඩ බන්ධනාගාර ප්‍රධාන දොරටුවෙන් පැන ගොස් ඇති බව බන්ධනාගාරය මාධ්‍ය ප්‍රකාශක අතිරේක කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා කිය.

මෙම  සිරකරුගේ හැසිරීම සම්බන්ධයෙන් සැක සිතූ බන්ධනාගාර නිළධාරීන් විසින් මෙම සිරකරු පසුපස ලුහුබැඳ මරදාන දුම්රිය ස්ථානයට ගොස් ඇති අතර පසුව එම සිරකරු එහි නවතා තිබු දුම්රියක නැගී සිටියදි අත්අඩංගුවට ගෙන  රැගෙන ගොස් තිබේ.

ගම්පහ මහාධිකරණය මගින් 2015.03.06 වන දින මිණිමැරුම් චෝදනාව යටතේ මරණීය දණ්ඩනයට නියමව සිටි සිරකරුවෙක් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරහ .

මෙම සිරකරු පන්නල ප්‍රදේශයේ පදිංචි (42) හැවිරිදි පුද්ගලයෙකු බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කිය.
බන්ධනාගාර නිලධාරීන් භාරයට පත් මෙම සිරකරු වැලිකඩ බන්ධනාගාරයේ සිට අධිආරක්ෂිත බූස්ස බන්ධනාගාරයට මාරු කිරීමට අවශ්‍ය කටයුතු කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Latest