Skip to content

රට යවන්න සල්ලි ගත්ත පොලිස් නිලධාරියෙක්, කාන්තාවක් ඇතුළු 04 ක් අත්අඩංගුවට.

නීති විරෝධී ආකාරයට රැකියාවන් සදහා පුද්ගලයින් විදෙස් ගත කරන බව සදහන් කරමින් මුදල් ජාවාරම් කළ පොලිස් නිලධාරියෙක්, කාන්තාවක් ඇතුළු සිව් (04) දෙනෙකුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශණ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචියක් නොමැතිව බදුල්ල ප්‍රදේශයේ රැකියා නියෝජිත ආයතනයක් පවත්වා ගෙන ගිය පුද්ගලයෙකුව විමර්ශණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ජපානය, ඉතාලිය සහ කටාර් යන රටවල් වල රැකියා ලබා දෙන බව පවසමින් සැකකරු විවිධ පුද්ගලයින්ගෙන් විදෙස් ගමන් බලපත්‍ර සහ මුදල් ලබා ගෙන ඇති බවට පැමිණිළි ලැබී ඇතැයි වැටලීම කළ නිලධාරීන් සදහන් කරයි.

සැකකරු විසින් පවත්වා ගෙන ගිය බදුල්ල ධර්මදූත මාවතේ පිහිටි ව්‍යාජ විදේශ රැකියා මධ්‍යස්ථානයේ තිබී අයදුම් පත්‍ර 53 ක් අඩංගු ලිපි ගොණුවක් සහ විවිධ පුද්ගලයින්ගෙන් මුදල් ලබා ගත් බවට සදහන් ලිපි ගොණු 02 ක්ද වැටලීම කළ නිලධාරීන් තම බාරයට ගෙන ඇත.

මේ අතර අධිකරණය විසින් විදෙස් ගමන් තහනම් කර තිබූ පුද්ගලයෙකුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධරීන් විසින් කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන ඇත. හම්බන්තොට - සිරිබෝපුර ප්‍රදේශයේ පදිංචි සැකකරු වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වා ගෙන ගොස් ඇත. සැකකරු සම්බන්ධයෙන් තොරතුරු ලැබීමෙන් පසුව ඒ පිළිබදව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශණ අංශයේ නිලධාරීන් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.ඒ අතර තුර සැකකරු රටින් පලා ගොස් ඇත.

අනතුරුව සැකකරු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් කටයුතු කර ඇත.විදෙස් ගමන් තහනමක් අධිකරණය විසින් පනවා ඇත්තේ ඒ අනුවය.පලා ගොස් සිටි සැකකරු නැවත මෙරටට පැමිණි අවස්ථාවේදී ආගමන හා විගමන නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට බාර දීමට කටයුතු කර ඇත.

ජපානයේ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් ලබා ගෙන වංචා කළ බව කියන පොලිස් නිලධාරියෙකුවද විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඉමදූව - බටේමුල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජකාරියේ නිරතව සිටින අතරතුරදීය.

මේ අතර මැලේසියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් 5,10,000 ක මුදලක් වංචා කළ කාන්තාවක්ද විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.සැකකාරිය ගාල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

රැකියා ලබා දෙන බව පවසා සංචාරක වීසා මගින් තමන්ව මැලේසියාවට යැවුවත්,පොරොන්දු වූ පරිදි රැකියාවක් නොලැබුණු බව පවසමින් පුද්ගලයෙකු විසින් කර තිබූ පැමිණිල්ලකට අනුව එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

Latest