Skip to content

ලංකාවේදී මෙතෙක් හමුනොවූ විෂ මත්ද්‍රව්‍යයක් පොලිස් අත්අඩංගුවට

මීට පෙර ලංකාවේදී හමුනොවූ විෂ මත්ද්‍රව්‍යයක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට ලැබුණු තොරතුරක් අනුව විදේශයක සිට ගෙන්වන ලද බවට සැක⁣කෙ⁣රෙන මෙම මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ඊයේ දින මොරටුව ප්‍රදේශයේදීය.
දෙහිවල, කළුබෝවිල සහ මොරටුව ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙතෙක් මෙරටින් හමුනොවූ  විෂ මත්ද්‍රව්‍ය  සොයාගෙන ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා සන්තකයේ තිබියදීය.

මෙම විෂ මත්ද්‍රව්‍ය 4MMC බවට සැකකරුවන් හඳුන්වාදී ඇත.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පවසන්නේ මෙම මත්ද්‍රව්‍ය විෂ මත් ද්‍රව්‍යයක්ද යන්න විද්‍යාත්මකව තහවුරු කරගැනීම සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමුකළ බවයි.

වයස අවුරුදු 31 වන මොරටුව ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකරු සන්තකයේ තිබී මෙරටින් මෙතෙක් හඳුනානොගත් විෂ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 112 යි, මිලිග්‍රෑම් 8 සමග කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් එකක් ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදේශ රටකින් ගෙන්වා ඇති මෙම විෂ මත්ද්‍රව්‍ය කුඩා දරුවන්ගේ සෙල්ලම් බඩු තුළ බහා වෙනත් රටකට යැවීමට උත්සාහ දරා ඇති බවට පොලිසිය සැක පළකරනවා.


මීට අමතරව දෙහිවල පදිංචි වයස අවුරුදු 32 වූ පුද්ගලයා සන්තකයේ තිබී කුෂ්  ග්‍රෑම් 13 ද, කළුබෝවිල පදිංචි වයස අවුරුදු 37 ක පුද්ගලයා සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන තිබෙන මෙම පුද්ගලයන් තිදෙනා අතර මත්ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධයෙන්  සබඳතාවක් පවතින බවට පොලිසිය සැක පළ කරනවා.


රසායනිකව නිපදවන මත්ද්‍රව්‍ය මෙරට තුළ තහනම් අතර 2022 වසරේදී විෂ මත්ද්‍රව්‍ය නීති සංශෝධනය සිදුකර තිබෙනවා. ඒ අනුව ග්‍රෑම් 5 කට වඩා අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබීමට හේතුවන වරදකි.


අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍යවල විද්‍යාත්මකව පවතින රසායනික සංඝටක පිළිබඳ රජයේ රස පරීක්ෂක වාර්තාව අනුව අධිකරණය මගින් දඬුවම් නියමවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


Latest