Skip to content

ඉන්දීය කාන්තා ක්‍රිකට් සංචිතයට කේරළයේ ගෝත්‍රයක​ ක්‍රීඩිකාවක්

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඇතුලත්ව සිටින නවතම ක්‍රීඩිකාවක වන්නේ 24 හැවිරිදි මින්නු මානි ය​.

වමතින් පිත්ත හසුරවන, දකුණතින් පිට දඟ පන්දු යවන්නියක වන ඈ කේරළයේ වයනාඩ් ප්‍රදේශයේ උපන් ක්‍රීඩිකාවකි. එමෙන්ම ඇය කුරිචියා නම් ගෝත්‍රයේ තරුණියක වන අතර කේරළයෙන් පළමු වරට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඇතුලත් වීමට භාග්‍යය ලබන්නේ ද ඇය යි.\

ඇය පවසන පරිදි ඇගේ ගෝත්‍රයේ ගැහැණු ළමුන් ක්‍රීඩාවන් හි යෙදීම කෙරෙහි එතරම් මනාපයක් නැත​. කෙසේ වෙතත් එය ඇගේ ගමන නැවැත්වීමට හේතු වී නැති බව පෙනී යයි. කුඩා කළ අසල්වැසි පිරිමි ළමුන් සමග ක්‍රීඩාවෙහි නියැලෙද්දී ඇයට පහසුවෙන් පිත්ත හෝ පන්දුව හෝ නොලැබුණ අතර නිතරම ඇයට සිදුවූයේ පන්දු රැකීමට ය​. ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ ඇගේ දස්කම් පාසැලේ ගුරුවරුන්ට හඳුනාගත හැකිව තිබෙන අතර ඒ ඔස්සේ ඇයව වයනාඩ් ක්‍රිකට් සමාජය වෙතත් එතැනින් වයනාඩ් දිස්ත්‍රික් සමාජය වෙතත් යොමු කරනු ලැබ ඇත​.

දිස්ත්‍රික් මට්ටමෙන් ප්‍රාන්ත කණ්ඩායමට ඇතුලත් වුණ ඇය එහිදී දැක්වූ දස්කම් හේතුවෙන් දකුණුදිග කලාපීය කාන්තා කණ්ඩායම වෙත ද මාවත විවර කරගත්තා ය​. ඉන් අනතුරුව ඇයට කාන්තා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී දිල්ලි කැපිටල්ස් පිළ නියෝජනය කිරීමට අවස්ථාව ලැබුණි.

කෙසේ වෙතත් එම තරගාවලියේදී ඇයට ක්‍රීඩා කිරීමට ලැබුණේ තරග තුනක් පමණි. එහිදී ද ඇය එතරම් දස්කම් අතරට පැමිණියේ නැත​. නමුත් ඇය ඒ පිළිබඳ පසුතැවීමෙක් නොපෙන්වන අතර තරගකාරී ක්‍රීඩිකාවන් රැසක් සිටියදී තමන්ට එතරම් හෝ අවස්ථා ලැබීම පිළිබඳ ඇය සිය සතුට ප්‍රකාශ කරයි. ඇය පවසන්නේ ක්‍රීඩකයකු පසුබැසීම්වලින් අධෛර්යය නොවී දිගටම සිය පුහුණුවීම් කටයුතු පවත්වාගත යුතු බව ය​.

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම තරග තුනකින් යුක්ත විස්සයි විස්ස තරගාවලියක් සහ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියක් සඳහා බංග්ලාදේශයේ සංචාරය කරනු ඇති අතර මුල්ම විස්සයි විස්ස තරගය ජූලි 9 වනදා මීර්පූර්හි දී පැවැත්වේ. ඉන්දීය කාන්තා පිළෙහි නායකත්වය හර්මන්ප්‍රීත් කවුර් විසින් දරනු ලබන අතර ස්ම්‍රීති මන්දනා උපනායිකාව වෙයි.

Latest