Skip to content

යන්නේ කොහේද කියා නොදැන සංවර්ධිත රටක් කරා යන ජනතාවක්

පාලකයින් සිදු කරන ප්‍රකාශ එක පාරටම විශ්වාස නොකර ඒ සම්බන්ධයෙන් දෙවරක් විචාරශීලීව සිතා බැලීම මහජනතාවගේ කටයුත්තක් බව ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචර්ය ශාන්ත ජයරත්න මහතා සදහන් කරයි.

අප සමග විශේෂ සාකච්ඡාවකට එකතුවූ මහාචාර්ය ජයරත්න මහතා මෙසේද කියා සිටියේය.

මහාචාර්ය ශාන්ත ජයරත්න මහතා

ලංකාවේ බොහෝ පිරිස් විචාර බුද්ධියකින් තොරව යම් බලය ඇත්තෙක් කියනා දේ ඒ අයුරින්ම විශ්වාස කොට සිහින ලෝක වල ජීවත් වෙති. යමෙක්  පෞද්ගලිකව සිහින දැකීමේ වරදක් නැත. ඒවා සැබෑ වුවත් නොවූවත් කමක් නැත. එහි වාසිය හෝ අවාසිය ඔහු  සතුය. එහෙත්,කිසියම් පාලකයෙක් රටක් වෙනුවෙන් ජනතාවට ලබා දෙන්නේ සිහිනයකට එහා ගිය පොරොන්දුවකි. නැති නම් විශ්වාසයකි.  ඒ තුල පාලකයා හා ජනතාව අතර එකඟතාවයක් ඇති වේ. එමගින් පාලකයාට වගවීමක් (Accountability) සහ ජනතාවට වගකීමක් ඇති වේ. එම නිසාම පාලකයා විසින් ජනතාවට යම් පොරොන්දුවක් හෝ බලාපොරොත්තුවක් ලබා දිය යුත්තේ මනා අධ්‍යයනයකින් පසුව ය. ඒ සමගම ඔහු සතුව "SMART" සැලැස්මක්ද තිබිය යුතුය. යම්  පාලකයෙක් තම ජනතාවට යම් පොරොන්දුවක් ලබා දී එය ඉටු නොකරයි නම්, හෝ ලබා දුන් විශ්වාසය කඩ කරයි නම්  (Breach of Trust ) පාලකයා ජනතාවට වූ වගවීම පැහැර හැරීමක්  ලෙස සැලකිය හැකි ය.

· ලංකාවේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ එසේ ජනතාවට වග වූ එක් පාලකයෙක් ඔබට නම් කල හැකිද?

මෑත ඉතිහාසයේ මැතිවරණ සඳහා පක්ෂ විසින් ලබා දුන් පොරොන්දු එකක් හෝ සැබෑ වූයේ නම් ලංකාව අද බංකොලොත් රටක් වන්නේ නැත. 1965 සිට ලබා ගත් ඩොලර් බිලියන 100 කට වැඩි විදේශීය ණය නිසි සැළැස්මකට අනුව ආයෝජනය කලේ නම් ලංකාව මේ වන විටත් සංවර්ධිත රටක් වී හමාරය.

අප දැන්වත් කල යුත්තේ පාලකයා විසින් ඉදිරිපත් කරන පොරොන්දු පත්‍රය රටේ  ව්‍යවස්ථාවේ  මූලික අයිතිවාසිකම්  පරිච්ඡේදයට ඇතුළත් කොට අදාළ පාලකයා වගවීමකට යටත් කිරීම ය. එසේ  නොවුන හොත් හැමදාම පාලකයන් අපිව රැවටීමට ලක් කරණු ඇත.එය වළක්වා ලන්නට ඔබට - මට බැරිවේවි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයා පසුගිය ජුනි 01 දා ඔහුගේ 2048 දක්වා වන සංවර්ධිත රටක් කරා ගෙන යන  මාර්ග සිතියම රටට ඉදිරිපත් කළේය. එසේ නම්  රටේ පුරවැසියන් ඔහුට බල කල යුත්තේ එය හුදෙක් පොරොන්දු පත්‍රයකට සීමා නොකොට මූලික නීතියට ඇතුළත් කරන ලෙසයි. එවිට එය යථාර්ථයක් බවට පත්කර ගත හැක. එසේ නොවුනහොත් එයත් ජනාධිපති වරයාගේ එකල බ්‍රේස්ලට් පොරොන්දුව හා සමාන වනු ඇත.

ලෝකයේ රටවල් දුප්පත් හෝ පොහොසත් ලෙස වර්ගීකරණය කරන්නේ ලෝක බැංකුව යි. ඒ අනුව සෑම වර්ෂයකම ජූලි 01 වන දින ලෝක බැංකුව විසින් ලෝකයේ එක් එක් රටවල් වල ආර්ථිකයේ හැසිරීම් සහ පොදුවේ ලෝක ආර්ථිකයේ සිදුවන්නාවු වෙනස්කම් ද සැලකිල්ලට ගෙන වර්ෂික ඒක පුද්ගල ආදායම අනුව රටවල් කාණ්ඩ හතරකට වර්ගීකරණය කරයි.

ඒ අනුව,2023 වර්ෂය සඳහා අඩු ආදායම් ($1,085 ට අඩු), පහළ මැදි ආදායම් ($1,086 - 4,255), ඉහළ මැදි ආදායම් ($ 4,256-13,205), සහ ඉහළ ආදායම් ($13,205 ට වැඩි ) ලෙස කාණ්ඩ හතරකට ලෝකයේ රටවල්  වර්ගීකරණය කොට තිබෙනවා. එළඹෙන ජූලි 01 වන දින නැවත වරක් 2024 ට අදාළ වර්ගීකරණය සිදු කිරීමට නියමිතයි.

රටක් ශ්‍රේණිගත කිරීමේ දී ලෝක බැංකුව විසින් සැලකිල්ලට ගන්නා වූ කරුණු වන්නේ අදාළ රටේ වාර්ෂික (නාමික)  දල ජාතික ආදායම (GNI), ආර්ථික වෘධි වේගය (Growth Rate),උද්ධමනය (Inflation),විනිමය අනුපාතය (Exchange Rate ), සහ සාමාන්‍ය ජනගහන වර්ධන වේගය (Population Growth Rate) යනාදිය යි.

ලෝක බැංකුව සෑම විටම කිසියම්  වර්ෂයක් සඳහා ඒක පුද්ගල ආදායම් උපරිම හා අවම මට්ටම් නීර්ණය කිරීම සඳහා (To keep income classification Thresholds fixed in real terms) අදාළ වර්ෂයේ උද්ධමනය විශේෂ විනිමය හිමිකම් අවදානම් අනුපාතයට ගලපා (SDR deflator) ඉදිරිපත් කරයි. (A weighted average of the GDP deflator of China, Japan, UK, USA & Euro area). https://www.blogs.worldbank.org

ලංකාව පහළ මැදි ආදායම් (Lower Middle Income ) කාණ්ඩයේ රටක් ලෙස පසුගිය කාලයේ වර්ගීකරණය වී තිබුණි. 2021 ලංකාවේ වාර්ෂික ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 4013 ක්. එහෙත් එය 2022දී ඩොලර් 3362 දක්වා පහළ ගොස් තිබෙනවා. අඩු ආදායම් ලාභී රටවලට වඩා මැදි ආදායම් ලාභී රටවලට ජාත්‍යන්තර මූල්‍ය ආයතන ණය සහ ආධාර දීමේදී යම් සීමාවන් දක්වා තිබෙන බවත් අපි දන්නවා.

මේ හේතුවෙන්, 2022 රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වූවාට පසු රටක් හැටියට ලෝකයේ පළමු වතාවට කැබිනට් මණ්ඩලය යෝජනාවක් සම්මත කොට ලෝක බැංකුවවෙන් ඉල්ලා සිටියේ ලංකාව අඩු ආදායම් ලාභී රටක් හැටියට සලකා සහන ණය ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන ලෙසයි. ඉන් අදහස් කරන්නේ මැදි ආදායම් රටක් වුවත් දුප්පත් රටක් හැටියට සලකන ලෙසයි.

ලෝක බැංකුව මෙම ආදායම් වර්ගීකරණය කරණු ලබන්නේ වාර්ෂිකව යි. මන්ද එක් එක් රටවල ආර්ථික වල හැසිරීම, ලෝක ආර්ථිකයේ වන උච්චාවචනයන් දීර්ඝ කාලකට පුරෝකථනය කිරීම කඝ නොහැකියි. හේතුව රටවල ස්වාභාවික විපත්, වසංගත,දේශපාලන වෙනස් කම්,සිවිල් හෝ සන්නද්ධ යුධ ගැටුම් ඇති විය හැකි නිසයි. කොවිඩ් වසංගතය එවැනි අවස්ථාවක්. වර්ෂ තුන හතරකට යමෙකුට අවශ්‍යතාව අනුව යම් පුරෝකථනයක් කරගත හැකි වුවත්, එය රටක ජාතික ආදායම හෝ ඒක පුද්ගල ආදායම අවුරුදු 25 ක් වැනි දීර්ඝ කාලයකට කොහෙත්ම ගැලපීම් කල නොහැකියි යි.

මෙයට බලපාන ප්‍රධානම ප්‍රශ්නය උද්ධමනය කෙසේ ඉදිරි වර්ෂ වල හැසිරෙන්නේ ද කියා කිසිවෙකුට කිව නොහැකි වීමයි. ඒ අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ හැසිරීම ලබන මාසයේ  කෙසේ වනු ඇත්ද කියාවත් අද කිව නොහැකිය. දල ජාතික ආදායමට මොනවා වේවිද කියා කිසිවෙක් නොදනී. ලෝකයේ ඇති විය හැකි වෙනස්කම් කිසිවෙකුට දැන්ම උපකල්පනය කල නොහැක.  එවන් තත්වයක් තුල යමෙක් කියයි නම් ලංකාව 2048 සංවර්ධිත රටක් කරනවාය කියා එය නම් මහා මුසාවකි. ගජබින්නයකි. රැවටීමකි. කිසිදු ආර්ථික විද්‍යාත්මක සිද්ධාන්තයක්  මත පදනම් ව කරන්නාවූ ප්‍රකාශයක් නොවේ. නිදහසින් පසු බොහෝ අවස්ථා වල ඔවැනි නරිවාදං ඕනෑ තරම් අපි අසා ඇත. ඒවායින් මිදීමට දැන් කාලය පැමිණ ඇත. එම නිසා, දැන්වත් අපි  නිවැරැදි දිශාව තෝරා ගෙන හරි පාරේ ගමන් කිරීමට කටයුතු කළ යුතුව ඇත.

Latest