Skip to content

මෝඩයා, අනුවණයා, මුග්ධයා, අමනයා, ආදී නොයෙකුත් පදවලින් අපගේ ජීවිත කාලය පුරාවටම කවුරුන් හෝ අපට ආමන්ත්‍රණය කර ඇත. සමහරවිට ඒ ආමන්ත්‍රණයන්ට ඒ ඒ අවස්ථාවලදී අප සුදුසු වූවා විය හැකිය. නැතිනම් නුසුදුසු වූවා විය හැකිය. අපද කිසිවෙකුට හෝ මේ පදවලින් ආමන්ත්‍රණය කර ඇත. සමහරවිට ඔවුන් ද එම ආමන්ත්‍රණයට සුදුසු වූවා විය හැකිය. නැතිනම් නුසුදුසු වූවා විය හැකිය.

එමෙන්ම ලෝකයේ සත්වයින් අතරින් මනසින් උසස් මිනිසා මහා බුද්ධිමතෙකු යැයි සිතා සිටිය ද අප ජීවිතයේ කුමන හෝ අවස්ථාවක කුමන හෝ මෝඩකමක් නොකළා යැයි කාටනම් කිව හැකිද? මිනිස් ස්වාභාවය නම් එයය. නමුත් පුරුද්දක් වශයෙන් මෝඩකම් කිරීම හෝ මෝඩයකු ලෙස හැසිරීම කෙතරම් අවසනාවක් ද? කෙසේ නමුත් කව්දැයි දන්නේ ? ඔබත් මාත් මෝඩයෙක් ද යන වග. එය හරි හැටි හඳුනා ගන්නේ කෙසේ ද?

යමෙකු මෝඩයකු ලෙස හැඳින්වීම සඳහා අප බොහෝ විට පුද්ගලානුබද්ධව  එකිනෙකට වෙනස් අර්කථකතනයන් ලබා දුන්න ද සැබෑ ලෙසම එම අර්ථකතනයන් මෝඩයා විස්තර කිරීම සඳහා  ප්‍රමාණවත් ද යන්න ගැටළුසහගත වන අතර එම නිසා මෝඩයා යනු කවුදැයි විස්තර සහිතව සොයා බැලීම මෙම ලිපියේ අරමුණය. සාමාන්‍යයෙන් මෝඩයකු ලෙස හැඳින්වෙන්නේ " විනිශ්චයක් හෝ හැඟීමක් නොමැති පුද්ලයෙකුය " එසේත් නැතිනම් අබුද්ධික බව වැළඳගත් කිසියම් පුද්ගලයකු ඇත්නම් ඔහු මෝඩයකු වශයයෙන් සලකයි. නමුත් එම අර්ථකතනයෙන් පමණක් සෑහීමකට පත් විය නොහැකිය.

Quinten metsys

එබැවින් මෝඩයා යන්න හඳුනා ගැනීම සඳහා අපට වඩාත් සුදුසු ලෙස යොදාගත හැක්කේ ක්‍රි.ව. 1510 දී Quinten Metsys නම් නිර්මාණකරුවා විසින් සිතුවම් කර ඇති " An allegory of  folly - මෝඩකමේ උපමාවක් නම් සිතුවමයි. මෙම සිතුවමෙහි දක්වා ඇති සංකේත විස්තරකරගනිමින් පසු කාලීනව විද්වතුන් මෝඩයා යනු කවුරුන් ද යන්න වඩාත් විස්තර සහිතව පැහැදිලි කර දී ඇති අතර පහත දැක්වෙන්නේ එම ලෝක ප්‍රසිද්ධ වටිනා සිතුවමයි.

ඉහත සිතුවමෙහි සිටින්නේ හොඳම මෝඩයෙකි. නැතිනම් අප සාමාන්‍ය ව්‍යවහාරයේදී පවසන පල් මෝඩයෙකි. අමු මෝඩයෙකි. ගොං මෝඩයෙකි. ඔහු මෝඩයෙකු වශයෙන් පවසන්නේ ඇයි. ඔහුගෙන් සංකේතවත්වන මෝඩකමේ සංකේත මොනවා ද? එම සංකේත උපයෝගීකොටගනිමින් මෝඩයෙකු හඳුනා ගන්නේ කෙසේ ද?

සිතුවමෙහි පුද්ගලයා කරේ එල්ලා ඇති මල්ල තුළ පොතක් දමාගෙන ඇතැයි ඔබට පෙනී යයි. ඉන් ප්‍රකාශ කිරීමට උත්සාහ දරා ඇත්තේ කුමක් ද? ඉදිං එයින් සංකේතවත් කරණුයේ මෝඩයකුගේ ප්‍රධාන ලක්ෂණයයි. එනම් මෝඩයකු සබුද්ධික බව සෑම විටම මල්ලක් තුළට සඟවාගත් පුද්ගලයෙකි. පොතකින් අප සෑම විටම නිරූපණය කරණුයේ බුද්ධිය වන අතර නමුත් මෝඩ මිනිසුන් කරණුයේ සබුද්ධික බව සෑම විටම පසෙකට දැමීමය. ඉදිං යමෙකු මෝඩයෙකු නොවේනම් සබුද්ධික බව සෑම විටම මල්ලෙන් පිතතට ගත යුතුය.

මෝඩයින් සෑම විටම යමෙකුට පහරදීම සඳහා අතෙහි යෂ්ඨියක් තබාගෙන සිටී. නමුත් ඉන් සැබෑ ලෙසම මෝඩ පුද්ගලයින් මිනිසුන්ට පොලුවලින් පහරදීමට යනවා යැයි අදහස් නොවේ. ඉන් ප්‍රකාශ වන්නේ සමාජයේ ප්‍රගතිශීලී මිනිසුන් යම්කිසි දෙයක් පිළිබඳව කරුණු මත පිහිටා අදහසක් ප්‍රකාශ කරන විට මෝඩයින් සෑම විටම එයට පදනම් විරහිතව පහර දීමට උත්සාහ කරන බවය. මමත්වය කර පින්නා ගත් ඔවුන්ට අනෙකුත් පුද්ගලයින්ගේ අදහස්වලින් කිසිදු වැඩක් නැත.

යෂ්ඨියේ ඉහළ මිනිසකුගේ නග්න කයක් සිතුවම් කර ඇතැයි ඔබට පෙනේ. ඉදිං ඉන් නිරූපණය වන්නේ කුමක් ද? අපහාසයයි. මෝඩ පුද්ගලයින් සමාජයේ කරුණු මත පිහිටා අදහසක් ප්‍රකාශ කරන ප්‍රගතිශීලී පුද්ගලයින් හට නිකන්ම පහර දීමට යන්නේ නැත. ඔවුන් බොහෝ විට ඒ සඳහා භාවිත කරණුයේ අපහාසයයි. යෂ්ඨියේ ඉහළ නග්න කයක් ඇත්තේ එම නිසාය.

පුද්ගලය චරිතයකට හෝ යම් සිදුවීමකට අපහාසාත්මකව පහරදීම සඳහා මෝඩ පුද්ගලයින් ඉතා හොඳින් සැලසුම් කරයි. ඉතා හොඳින් කල්පනා කරයි. ඔවුන්ට ඒ සඳහා ඉතා හොඳ සැලසුම් ද ඇත. ඔවුන් කල්පනා කරණුයේ ප්‍රගතිශීලී අදහසක් දැක්වීමටනම් කිසිදු ගැටළුවක් නැත. නමුත් ඔවුන් කල්පනා කරණුයේ පහරදීම සඳහා අපහාසයක් සකසා ගන්නේ කොතනින්දැයි යන වගය. එම තැන හොයාගත් පසු වේගයෙන් පහරදීම සිදු කරයි.

බොහෝ විට සමාජයේ බුද්ධිමත් පිරිස් සහ ප්‍රගතිශීලී අදහස් දරණ පිරිස් මෝඩයින් සමඟ ගැටීමට යන්නේ නැත. මෝඩයින් සමඟ තර්ක කිරීමට යන්නේ නැත. නමුත් අනුවණ නැතිනම් මෝඩ පුද්ගලයින් කුකුලෙකු මෙනි. කුකුළන් මෙන් සෑම ස්ථානයකටම කෙකරගාමින් කොටමින් යයි. සිතුවමේ සිතුවම් කර ඇති පුද්ගලයාගේ හිසෙහි කුකුළෙකු ඇත්තේ එම නිසාය. හිස මත නැංවූ කෙකරගාන කුකුළා මෝඩකමේ ප්‍රධාන ලක්ෂණයකි.

මෝඩයැයි සළකුණු කරන පුද්ගලයින් සෑම විටම සමාජයේ කැපී පෙනීමට උත්සාහ කරන බව ද සිතුවමෙන් නිරූපිතය. හොඳින් බලන්න පුද්ගලයාගේ ඉනෙහි ගෙජ්ජි වැලක් ඇත. කැපී පෙනීමේ අවශ්‍යතාවය ද මෝඩයින්ගේ ප්‍රධාන ලක්ෂණයකි. නමුත් ඔවුන්ට සිදුවන්නේ කැපී පෙනීමට ගොස් අවසානයේ පෙනී කැපීමට බව ද අප සමාජ අත්දැකීමෙන් දනිමු.

ඕනෑම දෙයකට සිලිං බිලිං හඬ නංවාගෙන පැමිණෙනවිට ඔවුන් බොහෝ විට මෝඩ පුද්ගලයකු යැයි තීරණය කළ හැකි අතර ඔවුන් ඉනෙහි සිලිං බිලිං හඬ නංවන ගෙජ්ජි වැලක් පළඳින්නේ ඔවුන්ට කැපී පෙනීමට ඇති එකම ක්‍රමය නම් සිලිං බිලිං හඬ නැංවීම පමණක් වන නිසාය. බොහෝ විට සමාජයේ ගෙජ්ජිවැලක සද්දය ඇසෙනා විට ප්‍රගතිශීලී මිනිසුන් ඉන් ඉවත්ව යන බව ද අප දැක ඇති අතර නමුත් එසේ ඉවත් නොවූවා නම් ඉතා හොඳ බව මාගේ පුද්ගලික අදහසය. සිලිං බිලිං ගෙජ්ජි වැලකින් සමාජය කැළඹීමට ඉඩ දීම සැබවින්ම ප්‍රගතිශීලී මින්සුන්ට යුතු නොවේ.

පුරුද්දක් වශයෙන් යම් අයෙකු සමාජයේ මෝඩකම ප්‍රගුණ කිරීමට යෑමේදී ඔවුන්ගේ ශරීරයෙන් විවිධ ලක්ෂණ මතු වේ.  සිතුවමෙහි පුද්ගලයාගේ කන් දෙක නරියකුගේ කන් දෙකක් වී ඇත්තේ එම නිසාය. නමුත් ජීව විද්‍යාත්මකව ඉන් මෝඩ පුද්ගලයින්ට ඇත්තේ නරියකුගේ කන් දෙකක් යැයි අදහස් නොවන අතර එය සංකේතයකි. ඔවුන් සෑම විටම කපටි පුද්ගලයින් පිරිසක් ය යන්න ඉන් අදහස් වේ. මෝඩයින් කපටිය.

මෝඩ පුද්ගලයින්ගේ සෑම විටම නුවණ නමැති තුන්වැනි ඇස කුණු වී ඇත. ඔවුන් ප්‍රථමයෙන්ම සබුද්ධික බව පසෙකට විසිකර දමන්නේ එම නිසාය. කුණු වී ඇති නුවණ නමැති තෙවැනි ඇසින් සැරව ගලන අතර එමගින් මුළු මහත් සමාජයක් දුර්ගන්ධයට අත්වනු ඇත. සිතුවමෙහි නිරූපණය කර ඇති පුද්ගලයාගේ නළල දෙස හොඳින් බලන්න.

අවසාන වශයෙන් සිතුවමෙහි සිතුවම් කර ඇති පුද්ගලයා කුදු ගැසී ඇත්තේ ඇයි දැයි ඔබ දන්නේ ද? මොහු තරමක් වයසක පුද්ගලයකු නිසා කුදු ගැසී ඇතැයි ඔබ සිතන්නේ ද? නැත. ඉන් නිරූපණය වන්නේ වෙනත් අදහසකි. යමෙකු කුදු ගැසුණුවිට ඔහුට ඉදිරියට යෑමට අපහසුය. බොහෝ විට ඔහුගේ ගමන බාල වේ. ඍජු පුද්ගලයින් සෑම විටම ඔහු පසු කර වේගයෙන් ඉදිරියට ගමන් කරයි. ඉදිං ඉහත ලක්ෂණ සියල්ලෙන් යුත් මෝඩ පුද්ගලයින් හට සෑම විටම සමාජයේ ඉදිරියට යෑමට ඉතාමත් අපහසුය. ඔවුන් පසුකර බුද්ධිමත් , ප්‍රගතිශීලී මිනිසුන් බොහෝ දුර යනු ඇත.

එසේනම් An allegory of  folly නම් සිතුවම තුළින් අපට මෝඩ පුද්ගලයකු එසේත් නැතිනම් මෝඩකම යන්න හඳුනාගත හැක්කෙ ඒ අයුරිනි. සමහරවිට ඔබ ළඟ මම ළඟ, නැතිනම් වෙන කෙනෙක් ළඟ එම ලක්ෂණ තිබෙන්නට පුළුවන. එසේ නම් මා සෑමවිටම කියන කතාවක් ඇත. එනම් ඕනෑම කතාවක තමන් තනිව සිතාගත යුතු කතාවක් පවතින බවය. ඒ තනිව සිතා ගත යුතු කතාව තුළ අප ද මෝඩයින් වන්නේ දැයි සිතමු.

Latest