ජනතාවගේ සෞඛ්‍ය හා යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා මාස හයක් ඇතුළත නව වෛද්‍ය පනතක් සම්පාදනය කොට ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය..
ඒ අනුව පවතින වෛද්‍ය අඥා පනතේ සිදු කළ යුතු කාලීන වෙනස්කම් අධ්‍යයනය කරමින් යෝජිත නව වෛද්‍ය පනත සකස් කිරීම සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්, නීති කෙටුම්පත් සම්පාදක සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිගෙන් සමන්විත ඉහළ මට්ටමේ කමිටුවක් මගින් සිදුකිරීමට නියමිත ය.
සෞඛ්‍ය සේවාව වැඩිදියුණු කිරීම සහ සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් ගෙන ඇති පියවර පසු විපරම් කිරීම වෙනුවෙන් වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය බලධාරීන් මෙම සාකච්ඡාවට සහභාගී විය.


ඉදිරි මාස තුන සඳහා ප්‍රමාණවත් වන පරිදි කඩිනම් වෛද්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ රුපියල් බිලියන 30 ක අතිරේක ප්‍රතිපාදන ලබා දීමට ද මෙහිදී තීරණය කෙරිණ.
එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) අනුමත වෙනත් රටවල ඖෂධ සහ නිර්දේශිත ඖෂධ මෙරටදී අනුමත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියට උපදෙස් ලබා දුන්නේය.
ඒ වෙනුවෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ අවශ්‍ය සංශෝධන සිදු කොට අත්‍යාවශය ඖෂධ ක්‍රමවත්ව සහ කඩිනමින් ලබා ගැනීම නිශ්චය කර ගැනීම සඳහා පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
වෛද්‍ය නිෂ්පාදන නියාමනය කිරීම සහ මහජන සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) කාර්යභාරය ශක්තිමත් කිරීම වෙනුවෙන් සවිස්තර වාර්තාවක් සපයන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන් වෙත දැනුම් දුන්නේය.
ගුණාත්මක ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා සරල සහ විනිවිද භාවයකින් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සකස් කිරීම සඳහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.කේ සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් ද මෙහිදී පත් කරනු ලැබීය.
මීට අමතරව, වෛද්‍ය නිෂ්පාදනවල ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව තක්සේරු කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්මත 4 මිණුම් දණ්ඩ සහිත රසායනාගාර පහසුකම් ස්ථාපිත කිරීමේ යෝජනා ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත උපදෙස් දුන්නේය.


මෙහිදී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සඳහන් කර සිටියේ, භාවිතයට ගත නොහැකි රෝහල් උපකරණ සහ වසර දෙකක් ඇතුළත කල් ඉකුත් වන හෝ ඉවත් කරන උපකරණ හෝ ඒ ආශ්‍රිත ද්‍රව්‍ය - භාණ්ඩ, ලැයිස්තුවක් වහාම ඉදිරිපත් කරන ලෙස ය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා, ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී ඒකනායක මහතා, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු සෞඛ්‍ය නිලධාරීන් සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙම රැස්වීමට සහභාගි වූහ.