Skip to content

''අලි මිනිස් ගැටුම විසඳන්න ජාතික වැඩපිළිවෙලක් අවශ්‍යයි'' - වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය

අලි මිනිස් ගැටුම විසඳීම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙලක් ඇති කළයුතු බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ අලි මිනිස් ගැටුම කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊට අදාළ සියලුම ආයතන ඒකාබද්ධ කර ගනිමින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඊයේ ( 04) පැවති වැඩමුළුවට සහභාගි වෙමිනි.

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් හා ඊට අදාළ අනෙකුත් සියලුම ආයතනයන්ගේ මැදිහත්වීමෙන් සකස් කෙරෙන අලි මිනිස් ගැටුම විසඳීම සම්බන්ධයෙන් වූ ජාතික ප්‍රතිපත්තිය හා වැඩපිළිවෙළ පාර්ලිමේන්තුව තුළ විවාදයට ගත යුතු බවත්, ආංශික අධීක්ෂණ කමිටුවලට යොමු කර අවශ්‍ය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිසි සැකැස්මක් සකස් කළ යුතු බවත් අමාත්‍යවරිය පැවසුවාය.

වත්මන් තත්වය තුළදී අලි මිනිස් ගැටුම මෙරට ප්‍රධාන ගැටලුවක් බවට පත්වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විසඳුම් සෙවීමේදී කොතරම් මුදලක් වැය වුවද වැයවන මුදල නොව ස්ථිරසාර විසඳුමක් ලබාගැනීමට කටයුතු කළ යුතු අමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් පැවසීය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් ප්‍රතිපත්ති හා වැඩපිළිවෙල සකස් කරන විට කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන විසඳුම් සහිතව සැකසිය යුතු බවත් ගැටලුව උග්‍රවීමට අතීතයේ ගත් තීන්දු තීරණ බලපෑ බවත් අමාත්‍යවරිය සඳහන් කළාය. මේ හේතුවෙන් මෙරට ජනතාව මෙන්ම අලින්ද දුක් විඳින බවත්, වන අලි සංරක්ෂණය වෙනුවෙන් ප්‍රධාන සැලසුමක් හැකි ඉක්මනින් සකස් කළ යුතු බවත් අමාත්‍යවරිය පැවසීය.

Latest