Skip to content

රිජ්වේ ආර්යා ළමා රෝහලේ හෙට වෛද්‍ය වැඩ වර්ජනයක්!

රිජ්වේ ආර්යා ළමා රෝහලේ හෙට (19) දින වෛද්‍ය වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අළුත්ගේ මහතා පැවසුවේ මෙම වැඩවර්ජනයට හේතුව 08B  වාට්ටුවේ විශේෂඥ වෛද්‍යවරියගේ ක්‍රියාකලාපය බවයි.

ඇය දිගින් දිගටම කාර්ය මණ්ඩලයට පීඩාකාරී වන ලෙස හැසිරෙමින් සිටින අතර බලධාරීන් ඊට විසඳුම් නොදීම නිසා මෙලෙස වැඩවර්ජනයකට යොමුවන බවයි අළුත්ගේ මහතා කියාසිටියේ.

ඊයේ දිනයේදී එම ප්‍රශ්නය විසඳන බවට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර තිබුණද එය ඉටුනොවුණු බව අළුත්ගේ මහතා පැවසුවේය.

''බලධාරීන් දිගින් දිගටම ප්‍රශ්නය විසදපු නැති නිසා මේ තීරණයට එන්න වුණා. කවදාවත් ළමා රෝහලක වර්ජනයක් කළේ  නෑ.මේක කරන්නේ රෝගීන් ගැන හිතලා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඊයේ සවස මේක විසදනවා කිව්වා විසදුවේ නෑ. 8B වාට්ටුවේ විශේෂඥ වෛද්‍යවරියගේ හැසිරීම නිසයි මෙහෙම කරන්නේ. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය  දිගටම පීඩාවට පත්කලා. මීට කලින් වැඩ කළ  රෝහල්වලත් මෙහෙමයි වැඩ කළේ. හෙට දවසේ සිදුවන මේ වර්ජනය රෝහලේ අධ්‍යක්ෂවරයා වගකියන්න ඕන. මේ විශේෂඥ වෛද්‍යවරියගේ හැසිරීම නිසා වෛද්‍ය සිසුවෙක්වත් එතනට යන්නේ නෑ. වෛද්‍යවරුන් ට වන මේ අඩත්තේට්ටම් අපි තව දුරටත් දරන්න සූදානම් නෑ. රෝහලේ අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ටත් උඩින් ගිහින් කටයුතු කරන්නේ.අපි වෛද්‍යවරුන්ට කිව්වා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ගේ වචනයට විශ්වාසය තියන්න කියලා. නමුත් ඒ වචනය කඩකළා. අද උදේ අපගේ විධායක මණ්ඩලය තීරණය කළා රිජ්වේ ආර්යා යා ළමා රෝහලේ බාගිර රෝගී අංශය බිදවැටෙන විදිහට පැය 24ක වර්ජනයක් කරන්න.''

ඒ අනුව හෙට දිනයේ බාහිර රෝගී අංශයට නොපැමිණෙන ලෙසයි අළුත්ගේ මහතා පැවසුවේ.

කෙසේවෙතත් හදිසි සේවාවන් ක්‍රියාත්මක බවද ඔහු අවධාරණය කළේය.

හෙට උදෑසන 08.00 වන තුරු ප්‍රශ්නය විසඳීමට කාලය ඇති හෙයින් ඉතිහාසයේ නොවූ විරූ වැඩවර්ජනයකට යාම බලධාරීන්ට වැළැක්විය හැකි බවයි අළුත්ගේ  මහතා කියාසිටියේ.

Latest