Skip to content

ජීවිත බේරා ගන්නා ජීවකයෙක්..!

ජීවිතයක් යදින කෙනෙකුව ගලවා ගන්නට සෑම කෙනෙකුටම හැකියාවක් නැත. විශේෂයෙන්ම දියේ ගිලී අනතුරට පත් වන අයවළුන් බේරා ගන්නට ඉදිරිපත් වන පිරිස අල්පය. මන්ද ජලයේ ගසා ගෙන යන මිනිසා ජීවිතය බේරා පන්නට තුත්තිරිගහෙත් එල්ලෙන නිසාය.

නමුත් වසර 31 ක කාලයක් තම ජීවිතය පරදුවට තබා තවෙකුගේ ජීවිතය බේරා ගන්නට උත්සාහ කරන අපූරු පුද්ගලයෙකු පිළිබදවයි මේ කථාව.

හෙතෙම නමින් සුනිල් විජේසිංහය. සේවය කරන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙසය. ඔහු මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුවේ මාතලේ දිස්ත්‍රික් ජීවිතාරක්ෂක ප්‍රධාන පුහුණූ කරුවාද වේ.

වෙසක්,පොසොන් පොහොය දිනවලදී පමණක් නොව දීර්ඝ සති අන්ත වලදී දඹුල්ල - මාතලේ ප්‍රදේශ වන්දනාකරුවන්ගෙන් පිරී යන්නේය. ඒ දඹුල්ලත් වැදගෙන, සීගිරියටත් ගිහිං කන්නඩලම වැ‍වේ දිය කෙලියේ යෙදෙන්න බොහෝ දෙනෙකු ප්‍රිය කරන නිසාය.

දඹුල්ල විහාරය වැන්දත්, සීගිරිය තරණය කළත් අවදානම්ම කටයුත්ත සිදු කරන්නේ කන්ඩලම වැවේදීය. කන්ඩලම වැව ගැන කිසිවක් නොදන්නා පිරිස් දිය කෙලියේ නිරත වන්නේ සිදු විය හැකි අනතුරක් ගැන නොසිතාය.

මේ නිසාම සුනිල් විජේසිංහ වැන්නවුන්ට නිවාඩු දිනයක් නැත. දරුවන් සමග විනෝද වන්නට හෝ වන්දනාමාන කරන්නට පොසොන්, වෙසක් පොහොයක් නැත. ඔවුන් නිදි වරමින් කාලය ගෙවන්නේ තවත් අයෙකුගේ ජීවිතය ආරක්ෂා කිරීම වෙනුවෙන්ය.

"ජීවිතාරක්ෂකයින් 24,000 ක් විතර මම මේ වන විට පුහුණූ කරලා තියනවා. දියේ ගලෙන්න ගිය 70 කට වැඩි ප්‍රමාණයක් බේරා ගෙන තියනවා. ඒ වගේම දියේ ගිලී අතුරුදහන්වූ සිරුර 43 ක් ගොඩට අරගෙන තියනවා. මගෙන් ජීවිතාරක්ෂාව පුහුණූ වුණු විශාල 400 කට වැඩි පිරිසක් දැන් ඉන්නේ පිටරටවල් වල. හැබැයි මම තවම අපේ රටේ. දැන් මම අවුරුදු 31 ක් විතර කරන්නේ තවත් කෙ‍නෙකුගේ ජීවිතය බේරා ගන්නේ කොහොමද කියන කටයුත්තයි." සුනිල් විජේසිංහ මහතා සදහන් කරයි.

මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් රැසකටද විජේසිංහ මහතා විසින් මේ වන විට ජීවිතාරක්ෂක පුහුණුව ලබා දී ඇත. ඔවුන්ද සති අන්තයේ මෙන්ම විශේෂයෙන්ම නිවාඩු දින වල ප්‍රදේශයේ වැව් සහ ජලාශ ආශ්‍රිතව රැදී සිටින්නේ දියේ ගිලීම හේතුවෙන් සිදුවන අනතුරු වලක්වා ගැනීම සදහාය.

Latest