Skip to content

සජබ හා පොහොට්ටුවේ පළාත් පාලන ආයතන අපේක්ෂකයින් පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එක්වෙයි

සමගි ජන බලවේගයේ මෙවර වවුනියා දකුණ ප්‍රාදේශීය සභා අපේක්ෂක හා වවුනියාව දකුණ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කසුන් සුමතිපාල මහතා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වවුනියාව පළාත් පාලන ආයතනවල හිටපු සභිකයින්  පිරිසක් අද(06) එක්සත් ජාතික පක්ෂයට එක්විණ.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බංඩාර මහතා වවුනියාව දිස්ත්‍රික්කයේ සිදුකළ සංචාරයේදී අදාළ පිරිස එක්සත් ජාතික පක්ෂ නායකයාගේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට එක්විණ.

වවුනියාව දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමරත්න සුමතිපාල මහතාද එහිදි එක්සත් ජාතික පක්ෂ නායකත්වයට සහයෝගය දැක්විය යුතු බව සඳහන් කළහ.

වැඩසටහනට එක්වු පාලිත රංගේ බංඩාර මහතා පැවසුවේ ජනාධිපතිවරයා සියලුදෙනා එක්කර ගනිමින් රට ගොඩ නැංවීමට ගෙන යන වැඩපිළිවෙල වෙනුවෙන් සහයෝගය දැක්වීමට අදාළ පිරිස එක්ව සිටින බවයි.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා වැඩිදුරටත් පැවසූවේ ජනාධිපතිවරයා විසින් රට සංවර්ධනය කරා ගෙන යන වැඩපිළිවෙල වෙනුවෙන් සියළු පාර්ශව ඒකරාශි කර ගනිමින් පොදු වැඩපිළිවෙලක් සකස් කරගත යුතු බවයි.

වවුනියාව දකුණ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා මීට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සභාපති තනතුරට පත්ව සිටි අතර, මෙවර සමගි ජන බලවේගයෙන් වවුනියාව දකුණ සිංහල ප්‍රාදේශීය සභාව වෙත නාමයෝජනා භාරදි තිබිණ.

වැඩසටහන් අවස්ථාවේදී වැලිඔය ප්‍රදේශය නියෝජනය කළ පළාත් පාලන සභිකයින් තිදෙනකුද එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සහයෝගය දැක්වීමට එක්ව සිටියහ.

Latest