මිනිසෙකු උමතු වන්නේ ඇයි? ඒ උමතුව අවසාන වන්නේ කෙසේද යන්න පිළිබඳව කිසිදා කිසිවෙකුට නිශ්චිතව තීරණයකට එළඹීමට හැකියාවක් ඇත්ද යන්න විවාදාත්මකයි. නමුත්, ඒ උමතුව තේරුම් නො ගැනීම, නො සලකා හැරීම හෝ එයට ඉන්ධන සැපයීම අවසන් වන්නේ විනාශයකින්.
අද අප ඔබට කියන්නේ මේ කතාව කියන 2023 වසරට, වසර 96 කට පෙර සිදුවූ සිදුවීමකි.හදිසි අනතුරකින් පසුව මානසික මට්ටම වෙනස් වූ මිනිසෙක්, ඔහුගේ අතෘප්තිකර ජීවිතයේ වගකීම, ඔහු ජීවත් වූ සමාජයට බැර කරමින් හදවතේ වෛරයේ ගිනි දල්වා ගත්තේ ය. ඒ ගින්නට වරින් වර ඔහු අතින් මෙන් ම ඔහුගේ ජීවිතයේ යම් යම් සිදුවීම්වලින් ද ඉන්ධන සැපයිනි.කෙමෙ කෙමෙන් උමතුවට පත් ඒ මිනිසාගේ ඒ ගින්න, එක මොහොතක පුපුරා ගියේ ඔහු ජීවත් වූ කුඩා නගරයේ හදවත සියවස් ගණනකට බිඳ දමන මහා ඛේදවාචකයක් සිදු කරමිනි.
එය සිදු වූයේ 1927 වසරේදී යි. මේ ඇමරිකාවේ බාත් හි සිදුවූ පාසල් බෝම්බයේ කතාවයි.
කුඩා නගරයේ පාසල
ඇමරිකාවේ මිචිගන් හි පිහිටි බාත් යනු වර්ග සැතපුම් 31 ක් පමණ ප්‍රදේශයක පැතිර තිබූ ගොවි ජනපදයකි. අද අපේ කතාවෙහි කියවෙන සිදුවීම වූ 1927 වර්ෂය වනවිට, එහි පුද්ගලයන් තුන්සියයක පමණ ජනගහනයක් වාසය කළ අතර, ජනගහනය අඩු වීම නිසාම මේ නගරවාසීන් අතරේ වූයේ එකෙනෙකාව නමින් හඳුනන ආකාරයේ සමීපත්වයකි.
සාමාන්‍යයයෙන් යහපත් ආර්ථික සහ සමාජයීය මට්ටමක් තිබුණු බාත් වැසියන්, එකිනෙකාව ප්‍රිය කළ අතර, ඔවුන් සතුටු සහ සාමකාමී ජීවිත පවත්වාගෙන ගියහ.
බාත් ප්‍රථමික පාසල යනු මේ කුඩා නගරයේ තිබූ සුවිශේෂී ගොඩනැගිල්ලකි. බාත් පවුල්වල දරුවන්ගෙන් බහුතරයක්, අධ්‍යාපනය පිණිස ගියේ මේ පාසලට ය. 1922 දී නගරවාසීන් විසින් ගත් තීරණයකට අනුව පිහිටවූ බාත් ප්‍රාථමික පාසල පාලනය කෙරුණේ නගරවාසීන්ගේ කැමැත්තෙන් සහ ඡන්දයෙන් පත්කෙරුණු, නගරවාසීන්ගෙන් ම සමන්විත කමිටුවකිනි.

තිත්ත හැඟීම්වලින් පිරුණු මිනිසෙක්
මේ පාසල් කමිටුවේ සාමාජිකයන් අතරේ සිටි ඇන්ඩෘ කීහෝ (Andrew Kehoe), නැමැත්තා, බාත් වාසීන් අතර ප්රකටව සිටියේ තරමක ගුප්ත පුද්ගලයෙකු ලෙසටය. ගොවියෙකු සහ සත්ත්ව පාලකයෙකු වූ කීහෝ, කිසිවෙකුත් සමඟ ‘වැඩි භජනයක් නැති’, අතිශය බුද්ධිමත් එහෙත්, 'අනෙක් මිනිසුන්ගේ හැඟීම් තේරුම් නො ගන්නා' අයෙකු ලෙස බාත් වාසීන් විසින් ඔහුව හැඳින්වූහ. ඔහු පිළිබඳව තිබූ ඇතැම් කතා තරමක් භයංකර ය. එහෙත් ඒවා කිසිදාක එළිපිට කතාබහට ලක්වූයේ හෝ ඔප්පු වූයේ නැත.
කීහෝ උපදින්නේ 1872 වසරේ පෙබරවාරි පළවැනිදාවක ය . දරුවන් දහතුන් දෙනෙකුගෙන් යුතු පවුලක දහ තුන් වැනියා ව උපන් ඇන්ඩෘ කීහෝ, මිචිගන් ජනපද පාසලේ (වර්තමානයේ මිචිගන් විශ්ව විද්‍යාලය) විදුලි ඉංජිනේරු ශිල්පය හැදෑරුවේ ය. 1911 වසරේදී, යම් ප්‍රායෝගික පුහුණු වීමක් අතරතුරදී ගොඩනැගිල්ලක ඉහළින් ඇදවැටෙන කීහෝ, ඉන් හිසට සිදුවූ දරුණු තුවාල නිසා දෙසතියක් කෝමා තත්ත්වයක පසුවීමෙන් පසුව සුව ලබන්නේ, සදාකාලික මානසික තුවාලයක් ද සහිතව කිසිදු ප්‍රීතිමත් බවක් ඉතුරු නො වූ, සැඟවුණු කුරිරු සහ තිත්ත හැඟීම්වලින් පිරුණු අයෙකු බවට පත්වෙමිනි.
ඒ අනතුරින් පසුව නැවතත් සිය පියා සමඟ වාසයට යන කීහෝ, ඔහුගේ මව මිය යෑමෙන් පසුව පියා විසින් විවාහ කරගෙන සිටි බිරිඳ ෆ්රාන්සෙස් වයිල්ඩර් සමඟ එක ම නිවසේ වාසය කිරීමට සිදුවීම පිළිබඳව සතුටක් දැක්වූයේ නැත.

කුඩම්මා මිය යයි
1911 සැප්තැම්බර් 17 වැනිදා, නිවසේ තිබූ උදුනක් දැල්වීමට උත්සාහ කරන අතරේදී උදුන පුපුරා යාමෙන් ෆ්රාන්සෙස් වයිල්ඩර්ගේ සිරුරට ගිනි ඇවිලේ. මේ අවස්ථාවේ ඇය අසල සිටින්නේ ඇන්ඩෘ කීහෝ පමණි. ඔහු විසින් වතුර යොදාගෙන ගින්න නිවා දැමීමට උත්සහ කළත්, එය සාර්ථක නො වන්නේ උදුනේ තෙල් විසිරී, ගින්න පැතිරෙමින් තිබූ හෙයිනි.
රෝහල් ගත කෙරෙන ෆ්රාන්සෙස් වයිල්ඩර් මේ ගින්නෙන් සිදුවූ පිළිස්සුම් තුවාලවලින් දින කිහිපයක් වේදනා විඳ මිය ගිය අතර, උදුන පුපුරා යාමට හේතු වූයේ කුමක්ද යන්න කිසිදා සොයා ගැනුණේ නැත.
මේ උදුන පුපුරා යන ලෙස සකස් කළේ ඇන්ඩෘ කීහෝ බවට ඒ කාලයේ කටකතා පැතිරුණත් පොලිසියට එය සනාථ කිරීමට අවශ්‍ය සාක්ෂි ලැබී නො තිබුණි.
ණය - ණය - ණය!
1912 වසරේදී, කීහෝ ඔහු අනතුරට ලක්වීමට ප්‍රථම ඔහු විසින් ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කළ එලන් ඇග්නස් ප්‍රයිස් (හිතවතුන් අතර නෙලී නමින් ප්‍රකට) සමඟ විවාහ වූයේ ය. නෙලීගේ නැන්දණියක විසින් ඇයට දුන් මුදලින් විශාල ඉඩමක් ගත් කීහෝ, 1919 දී එහි ගොවිපලක් ආරම්භ කිරීමට කටයුතු කළේ ය. මේ සඳහා ඩොලර් 6,000 ක් කීහෝ විසින් මුදලින් ගෙවූ අතර, ඉතිරි මුදල ලෙස තවත් ඩොලර් 6,000 ක් ඔහු විසින් ණයක් ලෙස ගෙන තිබුණි.

ඉතාම නිශ්ශබ්ද සහ අහිංසක ගැහැනියක වූ නෙලී, කීහෝගේ නිරන්තර කුරිරුකමවලට ලක් වුණු අතර, ඇයට පරුෂ වචනයෙන් බැන වැදීමට මෙන් ම පහර දීමටත් කීහෝ පෙළඹුණු බව අසල්වැසියන් විසින් දැක තිබුණි. එමෙන් ම කීහෝ විසින් අසල්වැසි නිවසක සුනඛයෙකුට වෙඩි තැබූ බවටත්, අසනීපව සිටි අශ්වයෙකුට පහර දී මරාදැමූ බවටත් කටකතා ද පැතිර ගිය අතර, ඒවායේ සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත්, ඇන්ඩෘ කීහෝ නිතරම අනෙක් අය නුරුස්නා ලෙස හැසිරෙන සහ මිත්‍රශීලි ආකල්ප නො දරන අයෙකු වීම නිසා නගරවාසීන් ඔහුට දැක්වූයේ බියකි.
විවේක මොහොතවල්වල තුවක්කුවකින් ගස් කඳන්වලට වෙඩි තබමින් සිය ඉඩමේ ඔහු ඇවිදින ආකාරය අසල්වාසීන්ට සුලබ දසුනක් වී තිබිණි.
අතිශය පිළිවෙල මිනිසෙකු වූ ඇන්ඩෘ කීහෝ, සිය නිවස මෙන් ම සත්ත්ව ගොවිපොළ ද ඉතාම පිළිවෙලට තබාගැනීමට උත්සුක විය. විටෙක ඒ පිළිවෙල උමතුවක් දක්වා ම දුරදිග ගියේ ය. සතුන් නිදැල්ලේ සිය ඉඩමේ ඇවිදින මොහොතක පවා අතිශය කෝප වුණු කීහෝ, එවන් අවස්ථාවල සතුන්ට පහර දෙමින් ඇදගෙන ගොස් ඔවුන් ව අදාළ ස්ථානවල ගාල් කරනආකාරය අසල්වැසියන් විසින් දැක තිබුණි. 1925 වර්ෂය පමණ වනවිට, ඇන්ඩෘ කීහෝගේ දුර්වල මුදල් කළමනාකරණය මෙන්ම, වරින්වර ඇතිවන මානසිකත්වයේ වෙනස්වීම් ද නිසා ඔහුගේ ව්‍යාපාරය තිබුණේ බිඳ වැටෙමිනි.
එමෙන් ම බාත් වැසියන්ගේ එකඟත්වයෙන් 1922 වසරේ ආරම්භ කළ බාත් ප්‍රාථමික පාසල නඩත්තුව පිණිස නගරවාසීන්ගෙන් අය කෙරෙන බදු මුදල ඉහළ නැංවීමට නගර කමිටුව තීරණය කළ අතර, තමන්ට ද එම වැඩි බදු මුදල ගෙවීමට සිදුවීම පිළිබඳව ඇන්ඩෘ කීහෝ සිටියේ තදබල කෝපයෙනි.
කේන්ති ගින්නට ඉන්ධන වැටෙයි
1924 වසර වනවිට බාත් ප්‍රාථමික පාසලේ පාසල් කමිටුවට ඇන්ඩෘ කීහෝ ද පත් වී සියේ ය. ඔහු බාත් ප්‍රාථමික පාසලේ පාසල් කමිටුවේ භාණ්ඩාගාරික තනතුර දැරූ අතර, සිය තනතුරේ වගකීම් එතරම් සාධනීය ලෙස ඉටු නො කිරීම නිසා මෙන් ම ඔහු අනෙක් කමිටු සාමාජිකයන් සමඟ ඉක්මනින් කෝප ගෙන කලහකාරී ලෙස හැසිරීමත් නිසා ඔහු පිළිබඳව එතරම් සුභවාදී හැඟීමක් පාසල් කමිටුවේ සාමාජිකයන් තුළ තිබුණේ නැත. එමෙන් ම ඔහු පාසල් අරමුදල තම පුද්ගලික වියදම් සඳහා යොදාගන්නා බවටත් හැඟීමක් අනෙක් කමිටු සාමාජිකයන් තුළ තිබිණි.
1925 වසරේදී ඔහු නගර කමිටුවේ ලිපිකරුවෙකු ලෙස ද පත් ව සිටි අතර, බාත් පාසල ආරම්භ කිරීමත් සමඟ වැඩි වූ නගරයේ බදු මුදල් නැවත අඩු කිරීම වෙනුවෙන් ඔහු නිතර ම අනෙක් කමිටු සාමාජිකයන් සමඟ කළහ කරන්නට වූයේ ය .
බාත් ප්‍රාථමික පාසලට ඉදිරි වසර කිහිපය සඳහා කමිටු සභිකයන් තෝරාගැනීමට 1926 අප්‍රේල් පස් වැනිදා දී පැවැත්වූ ඡන්දයේදී නැවතත් භාණ්ඩාගාරික තනතුරට පත්වීමට ඇන්ඩෘ කීහෝට අවශ්‍ය වූ නමුත් ඔහු එවර ඡන්දයෙන් පරාජය විය. එමෙන් ම නගර කමිටුවේ ලිපිකරුවෙකු ලෙස ඔහු දැරූ තනතුරත් ඔහුට අහිමි වුණු අතර, තීරණ ගැනීමේ තනතුරක් සිට තීරණවලට හිස නමන්නෙකු බවට පසුබෑම පිළිබඳව ඔහු ඉතා දැඩි සේ කෝප ගත්තේ ය. ඔහු ඒ කෝපය පිට කළේ සත්ත්ව සිය ගොවිපළේ සතුන්ට සහ බිරිඳට හිරිහැර කරමිනි.
එමෙන් ම ඔහු විසින් 1919 දී ගොවිපළ ආරම්භ කිරීමට ගත් ණය නිසි ලෙස නො ගෙවීම නිසා, ඔහුගේ ගොවිපොළ බැංකුවෙන් අත්පත් කරගන්නා බවට ලිපියක් ද මේ වනවිට ඔහුට ලැබී තිබිණි. ඔහු සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට පැමිණි බැංකු නියෝජිතයා පහර කෑමෙන් වැළකෙන්නේ යන්තමිනි. “එක්කෝ මම මේ ගෙදර ඉන්නවා.. නැත්නම් කවුරුවත් මේ ගෙදර ඉන්නේ නැහැ…” ඔහු විසින් ණය හිලව්වට නිවස අත්පත් කරගැනීම සඳහා පැමිණි බැංකු නියෝජිතයාට දන්වා ඔහුව පලවා හරින්නේ ය.
බාත් ප්‍රාථමික පාසල ආරම්භ කිරීමත් සමඟ, එහි නඩත්තුවට ගෙවිය යුතු මුදල ද එකතු වීමෙන් ගෙවිය යුතු බදු මුදල ඉහළ යාමත්, බාත් ප්‍රාථමික පාසල් කමිටුවේ භාණ්ඩාගාරික තනතුරෙන් ඉවත් වීමට සිදු වීමත් නිසා ඔහු තුළ පාසල කෙරෙහි වූයේ දැඩි වෛරයකි. ඔහුගේ ජීවිතයේ සෑම අයහපත් ම සිදු වීමට හේතුව බාත් ප්‍රාථමික පාසල බවට ඔහු විශ්වාස කළේ ය.

විනාශයකට සැරසෙයි
මේ කාලය වනවිට ඇන්ඩෘ කීහෝගේ අසල්වැසියෙකු වූ එල්ස්වර්ත්, ඇන්ඩෘ කීහෝගේ අසාමාන්‍ය හැසිරීම් නිරීක්ෂණය කරමින් සිටියේ ය. කීහෝ සිය ඉඩම කෙළවරේ වූ ඔහු විසින් ම වැවූ ගස්වලට වෙඩි තබමින්, තනිවම කියවමින් සිටිනු දුටු එල්ස්වර්ත්, කීහෝ උමතුවකට පත්වෙමින් සිටින බව සිතූ අතර, ඔහු ඒ බව තවත් කිහිප දෙනෙකුට ම පවසා තිබුණි.
කීහෝගේ තවත් අසල්වාසියෙකු වූ මැක්මුලන් සිතුවේ කීහෝ සියදිවි නසාගැනීමට සැලසුම් කරන බවකි.
1927 වසරේදී කීහෝ සිය ගොවිපළේ කටයුතු සියල්ල ම නවතා දමන්නේ ය.
1927 අප්‍රේල් 27 වැනිදා මැක්මුලන් හමුවන ඇන්ඩෘ කීහෝ ඔහුට සිය අශ්වයෙකු තෑගි කළ අතර මැක්මුලන් විසින් එය ප්‍රතික්ෂේප කරන්නේ තම ගොවිබිමේ වැඩකටයුතු වෙනුවෙන් එය තබාගන්න ලෙස කියමිනි. මේ කාලය වනවිට කීහෝගේ බිරිඳ නෙලී, ක්ෂය රෝගයෙන් පීඩා විඳිමින් සිටින අතර නිතර රෝහල්ගතවන ඇයගේ ප්‍රතිකාරවලටත් කීහෝට ඉතා විශාල වියදමක් දැරීමට සිදුව තිබුණි.මේ කාලයේදී කීහෝ විසින් සිය රක්ෂණය සඳහා ගෙවිය යුතු වාරික මෙන් ම උකස් වාරිකයද ගෙවීම අතහැර දමන්නේ ය.
1927 මැයි 15 වැනිදා ඔහු දවස පුරාම සිය ගොවිපළේ විවිධ විනාශකාරී කටයුතුවල යෙදෙන අතර, ඉඩමේ සියලුම ගස් කපා දමන ඔහු, ඇතැම් ගස්, කපා ඇති බව නො පෙනෙන්නට ඒවා අටවා තබා තිබුණි. එමෙන් ම මිදි වැල් ද ඇතුළුව සියලුම භෝග විනාශ කර, ඒවා විනාශ කර දමා නැති බව අසල්වැසියන්ට පෙනෙන ලෙස යන්තම් රඳවා තබන්නට ඔහු කටයුතු කළේ ය.
මැයි 16 වැනිදා නෙලී, අවසන් වරට රෝහලේ සිට නිවසට පැමිණෙන අතර, ඔහු මැයි 16 සවස – සහ මැයි 18 උදෑසන අතර කිසියම් මොහොතකදී නෙලීව ඝාතනය කර, ඇගේ සිරුර නිවසින් පිටත ගොඩනැගිල්ලකට ගෙන ගොස් දමා තිබුණි.
ඔහු දින කිහිපයකට පෙර, සිය ෆෝඩ් රියට අලුතෙන් ම ටයර් යොදා තිබූ අතර, එය කිහිප වරක් ම නගරයටත්, බාත් ප්‍රාථමික පාසලටත්, ගොවිපළටත් නිවසටත් පදවාගෙන යනු අසල්වාසීන් දැක තිබුණි. පසුගිය වසරේ නොවැම්බරයේ සිට ඔහු වරින්වර මිලට ගෙන එකතු කරගත් පයිරටෝල් (පළමු ලෝක යුධ සමයේ භාවිත වූ පුපුරන ද්‍රව්‍යයකි. මෙය සහ ඩයනමයිට් එකල ගොවිපළ භාවිතා සඳහා මිලට ගැනීම සුලබ සිදුවීමකි.) සහ ඩයනමයිට් ගොවිපළේත්, පාසලේත් ගොඩ ගසන්නේ ය. පුහුණු විදුලි කාර්මිකයෙකු වූ ඔහු බාත් විදුහලේ විදුලි පද්දතියේ අලුත්වැඩියා කටයුතු කිරීම සිදුකරන පුද්ගලයා වීම නිසා මේ ගමන් බිමන් කෙරෙහි කිසිදු සැකයක් යොමු වූයේ ද නැත.
ඔහු තමන් විසින් ම නිර්මාණය කළ, ඇටවුම් දෙකක් ගෙනගොස් මෙම පුපුරන ද්‍රව්‍යවලට සම්බන්ධ කර ඒ පුපුරන ද්‍රව්‍ය කාල බෝම්බ දෙකක් බවට පත් කරන අතර, ඒවා සවි කරන්නේ ප්‍රධාන ගොඩනැගිල්ලේ උතුරු අන්තයේ, භූගත ගබඩාවේ එක කාල බෝම්බයක් සහ දකුණු අන්තයේ තවත් කාල බෝම්බයක් වන ලෙසටයි.
1927 මැයි 18 වැනිදා
1927 මැයි 18 වැනිදාට දිනය උදා විය. හරියටම උදෑසන 8.30 ට ඔහුගේ නිවස සහ ගොවිපළ සුන්බුන් ගොඩක් බවට පත්කරමින් පිපිරීමක් සිදු වන අතර, ඉන් කීහෝ ගොවිපළ සම්පූර්ණයෙන් ම විනාශ වී ගියේ ය. පිපිරීම බාත් නගරයේ සැලකිය යුතු දුරකට දැනී තිබුණු අතර, කීහෝ ගොවිපලේ ඉතිරි වී තිබුණේ එක් චිමිනි කුළුණක් පමණි.
නිවසේ විශාල කොටසක් විනාශ වී යන අතර ක්ෂණිකව හටගත් ගින්න නිවීමට ඔහුගේ අසල්වාසීන් යුහුසුළු වූහ.

එක් අයෙකු ජනේලයෙන් නිවසට ඇතුළු වී එතෙක් විනාශ නොවී තිබුණු නිවසේ විසිත්ත කාමරයේ බඩු භාණ්ඩ ඉවත් කරන අතර, අනෙක් පිරිස අය මෙහි ජීවත්ව සිටි පිරිස බේරාගැනීමට උත්සාහ කළහ. එහෙත් ඔවුන් දකින්නේ හිස් නිවසකි. අසල්වැසියන් නිගමනය කරන්නේ ක්ෂය රෝගයෙන් පීඩා විඳින නෙලී, රෝහලේ නවතා ඇති බවයි.එමෙන් ම නිවසේ මුල්ලක වූ පුපුරා නො ගිය ඩයනමයිට් තොගයක් ද වූ අතර එය දකින අයෙක් වහාම එය ඉවත් කිරීමට කටයුතු කර තිබුණි.
මේ වනවිට ගිනි නිවන භටයන් කීහෝ ඉඩමට ඇතුළු වෙමින් සිටින අතර,ඉඩම කෙළවර නවතා තිබූ සිය ෆෝඩ් රියෙන්, ගිනිගන්නා ගොඩනැගිලි සහිත තම ඉඩමෙන් පිටව යන කීහෝ, තම ගොඩනැගිලිවල ගින්න ගැන වද නොවී, වහාම පාසලට යන ලෙස ගිනි නිවන භටයන්ට පවසා තිබුණි.

මේ වනවිට ඔහුගේ ෆෝඩ් රියද, පුපුරන ද්‍රව්‍ය පිරවූ විශාල බෝම්බයක් බවට පත්කර තිබෙන බව කිසිවෙකුත් දැන සිටියේ නැත.
මේ අතර බාත් ප්‍රාථමික පාසල සුපුරුදු ලෙස උදෑසන 8.30 ට ආරම්භ විය. ඈතින් ඇසුණු පිපිරීම් හඬ නිසා ළමුන් තරමක නො සන්සුන්ව සිටි නමුත් ඔවුන් සිය ගුරුවරුන්ගේ අණ පරිදි සිය පාඩම් කටයුතු ඇරඹුහ.පහ ශ්‍රේණියේ පන්තිය ගොඩනැගිල්ලේ උතුරු කොටසේ බිම් මහලේ පිහිටා තිබුණු අතර එහි ගුරුවරිය වූයේ රෝස්කෝ හාට් මහත්මිය යි.
වෙලාව කෙමෙ කෙමෙන් උදෑසන 8.45 ට ආසන්න වෙමින් තිබුණි.
පාසල පුපුරා යයි
හරියටම උදෑසන 8.45 ට, රෝස්කෝ හාට්ගේ පන්තියට කෙළින් ම පහළ භූගත ගබඩාවේ කාල බෝම්බය පුපුරා ගියේ ය
රෝස්කෝ හාට්ගේ පන්තිය, දරුවන් සහ ඇයත් සමඟ පොළොව තුළින් ඇද වැටෙන අතර, ඉහළ මහල් සහ වහලය, මේ පන්තියේ සුන්බුන් මතට ඇද වැටිණි.
මේ පිපිරීමේ හඬ ඇසී, කීහෝගේ ඉඩමේ ගින්න නිවමින් සිටි පිරිස ද වහාම පාසල වෙත දිව එන්නට වූහ.

විනාශයක තරම
පාසලේ උතුරු අන්තය සහමුලින් ම විනාශ වී තිබෙන අතර දරුවන්ගේ විලාප හඬ ඇසෙමින් තිබිණි. ගොඩනැගිලි සුන්බුන් අතරින් උදව් ඉල්ලා හඬන දරුවන් සහ පිපිරීමෙන් මියගිය පිරිස සෙවීමේ මෙහෙයුම් ක්ෂණිකව ආරම්භ කළ හ. මේ මෙහෙයුමේ දී සිටින අය අතර, එදින පාසල් පැමිණි දරුවන්ගේ මව්වරු ද වූහ. මිනිසුන් කිහිප දෙනෙකුටවත් එසවිය නො හැකි විශාල ගඩොල් පදාස මේ මව්වරු විසින් ඉවත් කරන ආකාරය තමන් දුටු බව එහි රැස්වූ පිරිස පසුව පුවත්පත්වලට විස්තර කළහ.

ඇතැම් මව්වරුන්ට ගොඩනැගිලි අතරේ සිරව තිබී, උදෑසන නිවසින් පිටව ගිය තම දරුවාගේ මළ සිරුර හමු වී තිබිණි.
ප්‍රාථමික පාසල් ගුරුවරියක වූ බර්නිස් ස්ටර්ලිං මේ සිදුවීම ඇසෝසියේටඩ් පුවත් සේවයට විස්තර කළා ය.
“එය භූමිකම්පාවක් වගේ… එකවරම පාසලේ පුටු, මේස, පොත් සහ දරුවන් අහසේ පියාඹන්න වුණා. විසි වී ගිය දරුවන්ගේ සිරුරු කැබලි බිම විසිරුණා…”
මේ වනවිට පාසලේ උතුරු කොටසේ වහලය බිමට ම පහත් වී අවසාන ය. කීහෝගේ අසල්වැසියෙකු වූ එල්ස්වර්ත් මේ වනවිට සිටින්නේ පාසලේ ය. ඔහු මෙම පහත් වූ වහලය ඉවත් කිරීමට අවශ්‍යවන උපකරණ ගෙන ඒමට සිය ගොවිපළ වෙත යාමට පාසලෙන් පිටත් වන අතර, එතෙක් වෙලා කොහේ හෝ සිය රථය නවත්වාගෙන සිටි කීහෝ, වේගයෙන් පාසල දෙසට එය පදවාගෙන එනු දුටුවේ ය.
කීහෝ ද එල්ස්වර්ත්ව දකින අතර, සිය අසල්වැසියා සමඟ දත් දෑන්දම ම පෙනෙන සේ විලිස්සා සිනහ වෙමින් අත වැනුවේ ය.
තෙවැනි පිපිරීම
කීහෝ සිය රථය පාසලට පදවාගෙන එනු දකින පාසලේ සුපිරිටෙන්ඩන්වරයා වූ හුයික් ඉදිරියට යනවා.
තමන්ව පාසලේ පරිපාලන තනතුරුවලින් ඉවත් කිරීමට හුයික් ද දායක වූ බව සිතමින් සිටි කීහෝ, හුයික් තම පරම සතුරෙකු ලෙස සලකමින් සිටියා. හුයික් දුටු වහාම සිය මෝටර් රථය නවත්වන කීහෝ, හුයික්ව තමන් අසලට කැඳවනවා.
ඇසින් දුටු සාක්ෂි අනුව, හුයික්, මෙම සුන්බුන් ඉවත් කිරීමට ඔහුගේ යන්ත්‍ර සූත්‍ර ලබාගත හැකිද යන්න කීහෝගෙන් විමසා තිබේ. ඉන් මොහොතකට පසුව,උමතු පෙනුමෙන් යුතුව කීහෝ සිනාසෙන ආකාරය දකින හුයික්, ඔහු මේ විනාශයට සම්බන්ධදැයි අසා ඇත. ඒ මොහොතේ තුවක්කුවක් අතට ගන්නා කීහෝ, එයින් සිය ෆෝඩ් රියට වෙඩි තබන්නේ එහි වූ ඩයනමයිට් ගොනුවකට වෙඩි වදින ආකාරයෙන්. (මේ තුවක්කුව කීහෝ විසින් 1926 වසරේ දෙසැම්බර් මිලට ගත්තක්.)

ඉන් මොහොතකට පසුව කීහෝගේ රථය විශාල හඬක් නගමින් පුපුරා යන්නේ කීහෝ මෙන් ම හුයික්, සහ අසල සිටි ගොවියෙකුත් ක්ෂණිකව මරණයට පත් කරමින්. එමෙන් ම පළමු පිපිරුමෙන් දිවි ගලවාගෙන පාසල ආසන්නයේ ඇවිදිමින් සිටි අට හැවිරිදි ක්ලියෝ ක්ලේටන් ද මේ පිපිරුමෙන් මරණයට පත් විය.

එමෙන් ම බාත් හි තැපැල්කරු මේ පිපිරුමෙන් බරපතල තුවාල ලබන අතර ඔහු රෝහලට ගෙනියන අතරේ මරණයට පත් විය.
සුන්බුන් අතරින්
මේ වනවිට විනාශ වුණු පාසල් ගොඩනැගිල්ලෙන් මළ සිරුරු එකිනෙක ගෙන, පාසල් භුමියේ බිම තබා තිබුණු අතර තුවාලකරුවන් රෝහල්ගත කරන්නට යුහුසුළුවන පිරිසගේ හඬත්, සුන්බුන් ඉවත් කරන යන්ත්‍රවල හඬත් අතරින් තම දරුවන්ගේ සිරුරු හඳුනා ගත් මව්පියන්ගේ හැඬුම් හඬ ඇසෙමින් තිබුණි. ඇතැම් සිරුරු ඔවුන් හඳුනා ගන්නේ දරුවන්ගේ සපත්තුවලින්. එමෙන් ම ඇතැම් සිරුරු කොටස් විදුලි රැහැන්වල එල්ලෙමින් තිබේ.


ගොඩනැගිල්ලේ විනාශ නො වුණු දකුණු අන්තයේ බිම් ගබඩාවේ තිබී, තවත් විශාල කාල බෝම්බයක් හමු විය.ඩනයනමයිට්, භූමිතෙල් සහ පයිරටෝල් යොදා සෑදු රාත්තල් පන්සීය හතරක පුපුරණ ද්‍රව්‍ය අඩංගු බෝම්බය, වයර් බුරුල් වීමෙන් පුපුරා යාම වැළකී ගොස් තිබූ අතර එය පුපුරා ගියා නම්, මුළු පාසල ම සුන්බුන් වීම නො වැළක්විය හැකි දෙයක් වන බව පරීක්ෂකයන්ට වැටහිණි.

දින දෙකක් පුරා කළ මෙහෙයුමකින් පසුව සුන්බුන් අතර සිරව සිටි සියල්ලන් බේරා ගැනෙන අතර, මළ සිරුරු සියල්ල ද ඉවත් කෙරුණි.
මේ අතර මුල් ම පිපිරීම සිදු වූ, කීහෝ ගොවිපළේ විසිරී තිබූ සත්ත්ව මළ සිරුරු, සුන්බුන් අතරින් සිය මෙහෙයුම් කරන පිරිසට, පිළිස්සී මියගොස් සිටින කුකුළන් සහිත කුකුළු කොටුවක් පිටුපස වීල්බැරෝවක පටවා තිබූ මිනිස් සිරුරක් හමු විය. ඉතා දරුණු ලෙස පිලිස්සී තිබුණු මේ මළ සිරුර නෙලී බවට හඳුනා ගැනුණි.

කීහෝගේ අශ්වයන් දෙදෙනාගේ සිරුරු, ඉස්තාලයේ තිබී හමුවන අතර, ඔවුන්ගේ පාද බැඳ තිබෙන්නෙ, ඔවුන් පැන ගොස් දිවි බේරා ගැනීම වැළක්වීමේ අරමුණින් බව හෙළි විය.
කීහෝ ඉඩමේ වැටක, “අපරාධකරුවන් උපදින්නේ නැත. සමාජය විසින් ඔවුන් ව නිර්මාණය කරනු ලබයි” යනුවෙන් කීහෝ විසින් ලියූ කොළ කැබැල්ලක් එල්ලෙමින් තිබුණි. පරීක්ෂකයන් විශ්වාස කරන්නේ ඒ කීහෝගේ අවසන් පණිවිඩය බවයි.

‘පුපුරණ ද්‍රව්‍ය’ ලේබල් ගැසූ පාර්සලයක්
මේ අතර, මෙම පුපුරා ගැනීම්වලට ප්‍රථම, කීහෝ විසින් තරමක් බර පාර්සලයක් තැපෑලට භාරදී ඇති බව පොලිසියට ආරංචි විය. පොලිසිය එය සොයා යන්නේ, ඒ තුළ තවත් විනාශකාරී බෝම්බයක් පාර්සලයක් ලෙස සකස්කොට ඇති බව සිතමිනි. තැපැල් හුවමාරුවේදී එය ලබාගන්නා පොලිසිය, එහි පිටත සඳහන් කළ, ‘වහා පුපුරණසුළුයි!’ ලේබලය දකින අතර, මෙම පාර්සලය යොමුකර තිබුණේ තවත් පාසල් කාමිටු සාමාජිකයෙකුටය.
සුපරික්ෂාකාරීව එය ඉවත් කරන පොලිසියට, එහි තිබී, ඔහු බාත් පාසල් කමිටුවේ භාණ්ඩාගාරික ලෙස භාවිතා කළ ගිණුම් පොත් සහ ලිපියක් හමු විය.
ලිපියේ සඳහන් වන්නේ තමන් පාසල් කමිටුවේ සියලු කටයුතුවලින් ඉවත්වන බව සහ, තමන්ගේ පාලනය යටතේ පාසලේ එක් ගිණුමක, ශත ගණනක වෙනසක් වී ඇති බවත් පමණකි.
විපතේ තරම
පිපිරීම් තුන සිදුවූ ස්ථාන තුනේදී පුද්ගලයන් 45 දෙනෙකු මියගොස් 58 දෙනෙකු තුවාල ලබා තිබිණි. වැඩිම ජීවිත හානි ගණනක් වාර්තා වුණේ පිපිරීම් වනවිට පාසලේ සිටි පිරිස අතුරිනි. ඒ සංඛ්‍යාව 40 ක්. ඉන් 38 ක් ම පාසල් දරුවන් ය.
පාසල් බෝම්බය පුපුරා ගිය ස්ථානයට කෙළින් ම ඉහළින් පිහිටි රෝස්කෝ හාට්ගේ පන්තියේ දරුවන් සියල්ලම මියගිය සහ තුවාල ලැබූවන් අතරට අයත් විය.. රෝස්කෝ හාට් ද දින කිහිපයකට පසු රෝහලේදී මිය ගියා ය.

බෝම්බයේ 45 වැනි ගොදුර ලෙස, දස හැවිරිදි බියට්‍රිස් ගිබ්ස් (Beatrice Gibbs) මියයන්නේ තෙමසක් රෝහල්ගතව වේදනා විඳීමෙන් අනතුරුව, අගෝස්තු 22 වැනිදා ය. ඇය ඇගේ දස වැනි උපන්දිනය සමරා තිබුණේ බාත් බෝම්බයට පෙර දිනයේ යි.

නිගමනයකට එළඹෙයි
ඇන්ඩෘ කීහෝ විසින් අධික මිලක් ගෙවා මිලට ගත් කීහෝ ගොවිපළේ තිබුණු ඇතැම් යන්ත්‍ර සූත්‍ර කිසිදා භාවිතා කෙරී නැති බවත්, ඒවා විකිණුවා නම්, කීහෝට සිය ණය බරින් නිදහස් වීමට අවශ්‍ය තරම් මුදලක් ලැබිය හැකිව තිබූ බවත් පසුව අනාවරණය විය. එමෙන් ම අපරාධයට මාස කිහිපයකට පෙර ප්‍රදේශයේ ඉදිකිරීමක් කරන ස්ථානයකින් ඩයනමයිට් තොගයක් සොරකම් කිරීමේ සිදුවීමක් ද වාර්තා වී තිබූ අතර, එහි සැකය එල්ල වී තිබුණේ කීහෝටය.
තෙවන පිපිරිම සිදු වූ ෆෝඩ් රිය ආසන්නයේ තිබී හමුවූ ඇන්ඩෘ කීහෝගේ මළ සිරුර ඔහුගේ සොයුරියක විසින් භාරගෙන, සළකුණු නො කළ සොහොන් බිමක, නමක් සඳහන් නො කළ සොහොනක මිහිදන් කෙරිණි. නෙලී හෙවත් එලන් ඇග්නස්ගේ සිරුරේ කොටස් ඇගේ ඥාතින් විසින් ලැන්සින් හි සොහොනක තැන්පත් කරන්නේ, ඇය විවාහයට පෙර භාවිත කළ නම යටතේ ය.
ඇන්ඩෘ කීහෝ, ඔහුට සිදුවූ අනතුරෙන් පසුව සාමාන්‍ය මානසික මට්ටමක් නො තිබූ අයෙකු බවට පත් ව තිබූ බවත්, එනිසා ම ඔහු, ඔහුට සිදුවන සෑම අයහපතක ම වගකීම සමාජය පිට පත්වන්නට පුරුදු වූ බවත් නිගමනය කෙරුණි. උමතු, වෛරයෙන් පිරුණු, ‘තිත්ත හදවතක්’ තිබූ මිනිසෙකු විසින් කළ අපරාධයක් ලෙසට ඇමරිකානු බලධාරීන් බාත් සංහාරය හඳුන්වන්නට යෙදුණි.
අයරින් ඩන්හැම් (Irene Dunham) බාත් පාසලේ සිසුවියකි. උගුරේ අසනීපයක් නිසා 1927 මැයි 18 ඇයට පාසල් යාමට හැකි වූයේ නැත. පාසල පුපුරා යන හඬ ඇසීමෙන් පසු, ඇය ඇගේ මව සමඟ ඔවුන්ගේ මෝටර් රියේ නැගී වහාම ඒ දෙසට ගිය අතර ඉහළ නගින දුම් සහ දුවිලි වලාවන් අතරින් අයරින් ඩන්හැම් මුලින් ම දකින්නේ දුරකථන වයරයක පැටලී ඇති හිසකි.
බාත් සංහාරයේ 94 වැනි සංවත්සරය වෙනුවෙන් මේ 2021 වසරේ අගෝස්තු මාසයේදී ඇය යළිත් ඒ සිදුවීම ආවර්ජනය කළා. ඒ වනවිට ඇගේ වයස අවුරුදු 113 කි. ඒ කාලය වනවිට ඇමරිකාවේ මිචිගන් හි වෙසෙන වයස්ගතම තැනැත්තිය වූයේ ඇය ය.

“දන්න කියන දරුවන්ගේ මුහුණු, ටෙලිෆෝන් වයර්වල, ගස් අතුවල එල්ලී තිබුණා. දූවිලි සහ දුම මැදින්, ඔවුන් විවරකරගත් ඇස්වලින් අප දෙස බලා සිටියා. එලෙස එල්ලෙන්නේ ඔවුන්ගේ හිස් පමණක් බවත්, කඳ කොටස් පොළොවේ විසිරි ඇති බවත් මට තේරුම් ගියේ ටික වෙලාවකට පසුවයි. අප එතනින් ඉවත් වීමට පෙර ඇන්ඩෘ කීහෝ ඔහුගේ වාහනය පදවාගෙන ආවා. ඔහු සුපිරිටෙන්ඩන්වරයාවත් මරාගෙන මෝටර් රිය පුපුරවගත්තේ ඒ වෙලාවේ. ඔහුගේ ෆෝඩ් රියේ කොටසක් විදුලි රැහැනක පැටළුණා…”
………තවදුරටත් මගේ හිතේ ඒ ගැන වෛරයක් නැහැ. ඒත් එදා ඇතිවුණු දුක, මගේ ජීවිතය අවසන් වන තෙක් ම පවතීවි. කීහෝ ගැනත් මගේ හිතේ දැන් ඇත්තේ දුකක් යයි මම හිතනවා. එය තවදුරටත්, කිසිසේත් ම වෛරයක් නම් නෙමෙයි …”
අයරින් ඩන්හැම් 2022 මැයි පළමුවැනිදා මියගියා ය.
පුපුරා ගිය බාත් ප්‍රාථමික පාසල පිහිටි ස්ථානයේ දැන් ඇත්තේ උද්‍යානයකි. එහි සවිකළ පුවරුවක, ඇන්ඩෘ කීහෝ සහ නෙලීගේ නම් හැරුණු කොට, මියගිය සියල්ලන්ගේ නම් ඇතුළත් ස්මාරකයක් පිහිටා තිබේ.

බාත් ඛේදවාචකයෙන් දිවි ගලවාගත්, එහි සිසුන් ව සිටි පිරිසෙන් තවමත් ඉතිරිවී සිටින්නන්, වසරක් පාසා මේ උද්‍යානයට රැස්වන එදා මියගිය පිරිස අනුස්මරණය කරති.
ඉතින් මේ ලියන මමත්, කියවන ඔබත්, උමතු වීම් අවසාන වන ආකාරය ගැන දන්නේ කුමක්ද?