ජාත්‍යන්තර මුහුදේ මසුන් මරමින් සිටියදී හදිසියේ රෝගී තත්ත්වයට පත්වූ ධීවරයෙකුව මුදා ගෙන ගුවන් මගින් මෙරටට එවීමට එංගලන්ත රජය කටයුතු කර ඇත.
රෝගී තත්ත්වයට පත්ව ඇත්තේ හලාවත - බටහිර ඉරණවිල පදිංචි ඩබ්ලිව්.ඒ. රමේෂ් තරුෂ (අවු:21) නම් වූ තරුණ ධීවරයෙකි.
මැයි මස 16 වෙනිදා වෙන්නප්පුව - නයිනමඩම ධීවර වරායෙන් තවත් ධීවරයින් 05 දෙනෙකු සමග රමේෂ් "අයේෂ් පුතා - 3" බහු දින යාත්‍රාවෙන් මසුන් මැරීම සදහා ජාත්‍යන්තර මුහුදට ගොස් ඇත. ජාත්‍යන්තර මුහුදේ මසුන් මරමින් සිටින අතර තුර රමේෂ් හසියේම රෝගී තත්ත්වයක් පෙන්නුම් කර ඇත. යාත්‍රාවේ පදවන්නා විසින් ගුවන් තරංග මගින් මේ බව බහු දින යාත්‍රාවේ හිමිකරුට දැණුම් දීමට කටයුතු කර ඇත. මසුන් මැරීම පසෙක තබා ඇති ඔවුන් ආපසු මෙරට බලා යාත්‍රා කිරීම ආරම්භ කර ඇත. ඒ මසුන් මැරීමෙන් පසුව මෙරටට පැමිනෙන වෙනත් යාත්‍රාවක හෝ නංවා රමේෂ්ව පිටත් කර හැරීම සදහාය.

නමුත් කිසිදු යාත්‍රාවක් ඔවුන්ට හමුවී නැත. මේ අතර සිද්ධිය දැන ගෙන ඇති සමස්ථ ලංකා බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දු මහතා වහාම ක්‍රියාත්මක වී ඇත. රුවන් ප්‍රනාන්දු මහතා විසින් ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට සිද්ධිය දැණුම් දීමට කටයුතු කර ඇත.
අයේෂ් පුතා 03 යාත්‍රාව ඒ වන විට ගමන් කරමින් තිබී ඇත්තේ දියාගෝ ගර්ෂා දූපත් සමුහයට ආසන්නයෙනි. එම දූපත් සමුහය අයත් වන්නේ එංගලන්තයටය. ඒ අනුව ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා විසින් සිද්ධිය එංගලන්ත රජයට දැණුම් දීමට කටයුතු කර ඇත.
එතැන් සිට සිද්ධිය විස්තර කළේ සමස්ථ ලංකා බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දු මහතාය. "එංගලන්තයෙන් අපට දැණුම් දුන්නා යාත්‍රාව දියාගෝ ගර්ෂා දූපත දෙසට යාත්‍ර කරන්න උපදෙස් දෙන ලෙස. ඒ අනුව යාත්‍රාව එම දූපත් සමුහය දෙසට යාත්‍රා කිරීමට පටන් ගත්තා. දියාගෝ ගර්ෂා දූපත් සහ මාලදිවයින් දූපත් අතර ඉතාමත්ම කෙටි තීරුවක තමයි අපේ යත්‍රා ජාත්‍යන්තර මුහුදට ගමන් කරන්නේ. එසේ ගමන් කරන සියළුම බහු දින යාත්‍රා මේ ප්‍රදේශයේදී පරීක්ෂාවට ලක් කෙරෙනවා. ඒ නිසා තමයි අපි මේ ඉල්ලීම කරන්න කටයුතු කළේ උදව් කරන්න කියලා.
මෙපමණ කාලයක් අපිට අහන්න ලැබිලා තියෙන්නේ මසුන් මරන්න ජාත්‍යන්තර මුහුදට ගිය අපේ ධීවරයින්ව කුමන හෝ රටක ආරක්ෂක අංශ විසින් අල්ලා ගත්තු කථාවක් පමණයි.මේ ආකාරයට බේරා ගෙන ආපසු එවපු දවසක් මතකයේ නෑ. ඒ නිසා මේ සිද්ධිය විශේෂයි. මේ කටයුත්තේදී සහාය දුන් සියළුම දෙනාට ස්තූති කරන්නත් ඕනේ."
අයේෂ් පුතා 3 යාත්‍රාවේ මසුන් මරමින් සිටියදී රෝගී වූ රමේෂ් තරුෂ අපට හමුවුනේ හලාවත - ඉරණවිල පිහිටි ඔහුගේ නිවසේදීය. හෙතෙම සිද්ධිය මෙසේ විස්තර කලා.

"මට තාම වයස අවුරුදු 21 යි.මගේ තාත්තා නෑ. ඒ නිසා තමයි අවුරුදු 18 දී පාසල් ගමන නවත්වලා මුහුදු යන්න පටන් ගත්තේ. පොඩි නංගිවයි මල්ලිවයි ජීවත් කරන්න කරන්නයි මම මුහුදු යන්නේ.මට රෝගයක් තියනවා කියලා දැන ගෙන හිටියේ නෑ. වරායෙන් පිටත් වෙලා අපි ජාත්‍යන්තර මුහුදට ගියා. මම හිතන්නේ මුහුදු සැතපුම් 4000 ක් විතර යන්න ඇති. මාළු අල්ලමින් සිටින විට මට එක පාරටම මොකක්දෝ වුණා. මම ඉන්මනින් මේ බව යාත්‍රාවේ ස්කීපර් මාමාට කිව්වා. එයා මට කිව්වා වැඩ කරන්න එපා විවේකයෙන් ඉන්න කියලා.
පස්සේ මාත් එක්ක හිටපු අනිත් අය මේ බව ගුවන් විදුලි පණිවිඩයක් මගින් යාත්‍රාවේ හිමිකරුට දැණුම් දීමට කටයුතු කර තිබුනා.ඔය අතර අපි ආපසු එන්න පිටත් වුණා. මොකද මාළු අල්ලන්න ගිහිං ආපහු ලංකාවට එන යාත්‍රවක් මගදී හමු වුනොත් ඒකේ නැගලා එන්න කියලා හිතා ගෙන.අපි එන්න හිටියා නම් තව දවස් 20 ක් විතර යන නිසා.නමුත් අපිට කිසිම යාත්‍රාවක් මුණ ගැහුනේ නෑ.
ඒ අතර පණිවඩයක් ලැබුණා දියාගෝ ගර්ෂා දූපත දෙසට අපේ යාත්‍රාව පදවන්න කියලා. එහෙම යන කොට නැවක් ඇවිත් මාව බාර ගත්තා. ඒ නැවේදී මට ඇදෙන් බහින්නවත් දුන්නේ නෑ. වෛද්‍යවරු ඇවිත් විනාඩි 05 ක් 05 ට පරීක්ෂා කලා. පසුව මාව අරගෙන ගියේ දියාගෝ ගර්ෂා දුපත් වලට.එහෙදී තමා මම දැන ගත්තේ මට හැදිලා තියෙන්නේ "හර්ණියා" රෝගය කියලා.
පසුව වෙනත් රටකින් ගෙන්වා ගත්තු රෝගීන් ප්‍රවාහනය කරන විශේෂ ගුවන් යානයකින් මාව ලංකාවට එවන්න ඒ අය කටයුතු කලා. මම ආපු ගුවන් යානයේ වෛද්‍යවරයෙක් ඇතුළු හෙද කාර්ය මණ්ඩලයකුත්ත හිටියා. ඒ අය මට ඉතාමත්ම හොදින් කන්න බොන්න දී බෙහෙත් ලබා දෙමින් උපකාර කලා. ඒ විධියට මට එන්න ලැබුනේ නැත්නම් ඇත්තටම මම මුහුද මැද්දේ දී මැරෙනවා. ඒක නවත්වන්න හම්භ වෙන්නේ නෑ. පසුව ගිලන් රථයකින් කටුනායක ගුවන් තොටුපලේ සිට මාව මීගමුව මහා රෝහලට ගෙනවිත් ඇතුළු කලා. දැන් මම මේ සුදානම් වෙන්නේ ශල්‍යකර්මයක් කර ගන්නයි".
සත්‍ය ලෙසම සිදුවී ඇත්තේ ආශ්චර්යක් බව කිව යුතුය. කුඩා ප්‍රමණයේ බෝට්ටුවකින් හෝ මසුන් මැරීමට ගොස් මෙරට මුහුදු සීමාවේදී රෝගී වන ධීවරයින් මුදා ගන්නට අපේ රටේ තවමත් නිසි ක්‍රමවේදයක් නැත.නමුත් තමන්ගේ රටේ නොවන ජාතිකයෙකුගේ ජීවිතයක් බේරා ගෙන ඔවුන්ගේම වියදමින් එම පුද්ගලයාව සිය රටට එවන්නට තරම් මහත්මා ගතියක් දැක්වූ එංගලන්තයට අපි ස්තූති වන්ත විය යුතුවම ඇත.