Skip to content

රුපියල් ලක්ෂ 109 ක් වංචා කළ ව්‍යාජ විදේශ රැකියා නියෝජිතයෙකු අත්අඩංගුවට.

ව්‍යාජ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වා ගෙන යමින් රුපියල් ලක්ෂ 109 කට අධික මුදලක් වංචා කළ බව කියන පුද්ගලයෙකුව සහ එම සැකකරුට සහාය දුන් කාන්තාවක් සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල - පරගහදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්වය.

විදේශ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් ලබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුට එරෙහිව පැමිණිළි 50 කට වැඩි ප්‍රමාණයක් විදේශ සේවා නියුක්ති කාර්යංශයට ලැබී ඇත.එම පැමිණිළි විභාග කිරීමේදී අනාවරණය වී ඇත්තේ ප්‍රධාන සැකකරු කළක් නීත්‍යාණුකූල ආකාරයට විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වා ගෙන ගොස් ඇති බවය. විදේශ රැකියා ලබා දෙන බව පවසමින් සැකකරු මුදල් වංචා කරන බවට වූ පැමිණිළි එම කාලය තුළද විදේශ සේවා නියුක්ති කාර්යංශයට ලැබී ඇත.ඒ අනුව ඔහුගේ නියෝජිත ආයතනය වෙත නිකුත් කර තිබූ බලපත්‍රය අවංගු කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යංශය කටයුතු කර ඇත.

තම රැකියා නියෝජිත ආයතනයේ ලියා පදිංචිය අවලංගු කර ඇතත් පෙර ලියාපදිංචි අංකය සහ නාමය භාවිතා කරමින් සැකකරු දිගින් දිගටම විදේශ රැකිය ලබා දෙන බව පවසමින් විවිධ පුද්ගලයින්ගෙන් මුදල් ලබා ගෙන ඇති බව විමර්ශණ වලදී හෙලිවී ඇත.

සැකකරු කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනගාරගත කර ඇත.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශණ අංශයේ කපිල කරුණාරත්න මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත.

Latest