Skip to content

බොබ් ලසාර් සහ හඳුනා නොගත් යානා පිළිබඳ කතිකාවක්..

එවකට විශ්ලේෂකයින් විසින් UFO (Unidentified Flying Objects) වශයෙන් හඳුන්වන යානා මේ වන විට අර්ථකථනය කරනු ලබන්නේ UAP (Unidentified Anomalous Phenomena) වශයෙනුයි. එයට හේතුව වන්නේ ජලය තුළ ද මෙම හඳුනා නොගත් යානාවල ක්‍රියාකාරකම් සිදු වී තිබීමයි. ධවල මන්දිරය විසින් මාධ්‍ය වෙතට මේ වන විට UAP සම්බන්ධ​ ප්‍රකාශයක් නිකුත් කර ඇති අතරම, ලෝකයේම නැවතත් මේ පිළිබඳ කතාබහක් මතු වන්නේ David Grusch, Ryan Graves සහ​ David Fravor යන පිළිගත් වෘත්තීන්හි නිරත වන පිරිස් ඇමරිකානු කොංග්‍රසයට UAP පිළිබඳ පිළිගත හැකි සාක්‍ෂි ඇතැයි පැවසීමෙන් අනතුරුවයි.

මම අද ඔබට ඉදිරිපත් කරන්නේ කාලයේ වැලිතලාවෙන් වැසී ගිය එක්තරා කතාවකි. තර්ක විතර්ක සියල්ල මධ්‍යයේ පාඨක ඔබට ඔහුගේ කතාව පිලිබඳ තීරණයට ඉඩ තබා මෙලෙසින් එය​ ගෙනහැර දක්වමි.​

නෙවාඩාහි පිහිටා ඇති Area 51 රහසිගත යුධ පරීක්‍ෂණාගාරයක් බව ඔහුගේ මතයයි. මෙහි සේවයට බැඳුන ආකාරය පිළිබඳව​ ප්‍රසිද්ධ මාධ්‍ය වෙත මේ වන විටත් කරුණු අනාවරණය කර අවසාන අතරම​ ඔහු නමින් බොබ් ලසාර් නම් වේ.

මොහු කවු ද​? මොනවද කරන්නට ඇත්තේ.. බොබ් ලසාර් ගේ වචනයෙන්ම ඔහු පිළිබඳව වන​ හැඳින්වීමයි මේ..

මම කුඩා කල ඉඳන්ම විද්‍යාවට බොහොම උනන්දු කෙනෙක්. MIT විශ්ව විද්‍යාලය හරහා භෞතික විද්‍යාවට අදාළව පශ්චාත් උපාධියක් ලබා ගෙන තිබෙනවා. California Institute of Technology හරහා ඉලෙක්ට්‍රොනික විද්‍යාව සම්බන්ධයෙනුත් පශ්චාත් උපාධියක් මට තිබෙනවා. ඒ වගේම ජෙට් එන්ජින් පිළිබඳ පර්යේෂණ කරන්න මම බොහොම කැමතියි. පාපැදියකට පවා ඒ වගේ වෙනස්කම් සිදු කරල අත්හදා බැලීම් කරන්න මම කටයුතු කරලා තියෙනවා.

ලොස් ඇලමොස් ජාතික පර්යේෂණ ආයතනයේ රැකියාවකත් කලක් නියුතුව උන්නා. මට තවදුරටත් ක්‍ෂේත්‍රයේ ඉදිරියට යන්න උවමනා වෙනවා. ඒ අනුව රැකියා වෙත අයදුම් පත් යොමු කිරීමේ පියවරක් වශයෙන් තමයි EG & G කියන ආයතනයෙන් කැඳවීමක් කරන්නේ. මම සම්මුඛ පරීක්‍ෂණය සඳහා පෙනී ඉන්නවා. එහිදී ඔවුන් මාව තෝරා ගනු ලැබූවත් රැකියාව කරන්න තිබෙන ස්ථානයක් පිළිබඳව පවසන්නේ නැහැ. රජයේ රැකියා පුරප්පාඩුවක් විදිහටයි ඔවුන් මේ ගැන ප්‍රචාරණය කරලා තිබුණේ. මම මුහුණ දුන් සම්මුඛ පරීක්‍ෂණය තරමක පුදුමාකාර එකක්. ඔවුන් වැඩි වශයෙන් මගෙන් විමසා සිටියේ මගේ පවුලේ උදවියගේ විස්තර​, විනෝදය පිණිස මා කරන කියන දේවල්, ආශ්‍රය කරන්නවුන් වැනි අතිශය පෞද්ගලික කාරණා. රැකියාවට යොමු වුණාට පසුව එහි කාර්‍යභාරය සම්බන්ධයෙන් මූලික ලිපිගොණු ඔවුන් විසින් කියවීම සඳහා මා හට ලබා දුන්නා. ඒ අතර මා තවදුරටත් වඩාත් වික්ශිප්ත භාවයට පත් කරන ලද කරුණ වූයේ, ආයතන පරිශ්‍රය තුළදී මා වැඩ කරන පර්‍යේෂණ කණ්ඩායමේ සාමාජිකයන් සමග හැර අන් කිසිවෙක් සමග කතා බහ කල නොහැකි වීමයි. මාගේ ව්‍යාපෘතියට අදාළ තොරතුරු අන් අයට පැවසීමටත් ඔවුනගේ ව්‍යාපෘතීන් පිළිබඳව විමසා සිටීමත් සම්පූර්ණයෙන්ම තහනම් කටයුත්තක් වුණා. අඩුම තරමින් ඔවුන් ගේ නම පවා විමසිය නොහැකියි. ඔය අතරවාරයේම මම දකිනවා ඉතාම දියුණු තාක්‍ෂණික උපකරණ. මට සිතුණු දෙයක් තමයි කොහොමද මේ තාක්‍ෂණය ඔවුන් විසින් ගවේෂණය කරන්නට ඇත්තේ කියලා. මාව නිශ්චිත ස්ථානයකදී එක්තරා බස් රථයකින් පැමිණ රැගෙන යනු ලබනවා. එහි වීදුරු කලු කරලයි තිබුණේ. බාහිර කිසිම දෙයක් පෙනෙන්නේ නැහැ. ගමන අතරවාරයේ මා වැනිම තව පිරිස් ඔවුන් විසින් බස් රථයට නංවා ගනු ලැබුවා. අප කිසිවෙකුට යන ස්ථානය පිළිබඳව පැහැදිලි අදහසක් තිබුණේ නැහැ. පසුව තමයි මම දැන ගත්තේ මම වැඩ කරන්නේ ඒරියා 51 වල S4 කියන බේස් එකේ බව​.

කන්දක් කැණීම හරහා තමයි මේ බේස් එක නිර්මාණය කරලා තිබුණේ. එය අති දැවැන්ත වපසරියක පැතිරිලා තිබුණා කියන්න පුලුවන්. තවත් විශේෂත්වයක් තමයි එහි ද්වාරය නිර්මාණය කරලා තිබුණ ආකාරය​. එය වැසුවට පස්සේ කන්දේ පිහිටි පස් වලින්ම ආවරණය වී ඇති බවක් තමයි පෙනෙන්නේ. සැටලයිට් ඡායාරූපයකටවත් එවන් ස්ථානයක් තිබෙන බවට හෝඩුවාවක් සොයාගන්න ලැබෙන් නැහැ. (1989 දී ඔහු එම ස්ථානයෙන් ඉවත් වන විටදීත් එය පැවති බවට සපථ කරන අතර පිහිටීම සම්බන්ධයෙන් ආකෘතියක් පවා හැඳ එය සමාජ ගත කිරීමට ඔහු විසින් කටයුතු කර ඇත​.)

මට වැඩ කරන්න වුණේ බැරී කියන සාමාජිකයාත් සමග පමණයි. ඔහුගේ පුද්ගලික විස්තර පිලිබඳව කරුණු සෙවීම සම්පූර්ණයෙන්ම මට තහනම් වෙලයි තිබුණේ. මට කරන්න තිබුණ කර්තව්‍ය කුමක් වෙන්නට ඇතැයි කියා ද ඔබ සිතන්නේ? ඒ තමයි පෘථිවියෙන් පිටත නිර්මාණය කරන ලද යානයක ප්‍රචාලණ ක්‍රමය පිළිබඳ ඉංජිනේරු කටයුත්ත පසුපසට කරගෙන යෑම​. (Reverse Engineering) මේ පිළිබඳව තවදුරටත් පැහැදිලි කිරීමක් එකතු කලොත් යානා නිපදවලා තිබෙන ආකාරය පිළිබඳව අප විසින් පියවරෙන් පියවර පසුපසට අධ්‍යයනය කරලා එය නිර්මාණය කරල තිබෙන ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම​. බැරී මා හට පවසපු කරුණක් තමයි මීට පෙර මගේ මේ ස්ථානය හිමිව පරීක්‍ෂණ කටයුතු මෙහෙයවපු පුද්ගලයා යානයේ යම් ගලවා බැලීමක් සිදු කරන අවස්ථාවකදී අත් වැරදීමක් හේතුවෙන් සිදුවූ අනතුරකින් ජීවිතක්‍ෂයට පත් වූ බව​. යානය දැක්කහම මම පුදුමයෙන් පුදුමයට පත් වුණා. තට්ටු තුනකින් සමන්විත එහි යටම තමයි ප්‍රචාලණ පද්ධතිය පිහිටලා තිබුණේ. කිසිවක් කිසිවකින් සම්බන්ධ වෙලා තිබුණේ නැහැ. වයර් හෝ වෙනත් මාදිලියේ සම්බන්ධක උපකරණ කිසිවක් ඒ තුල නැහැ. නමුත් යානය ඇතුල ඉතාම සරලයි. මා දකින්න බලාපොරොත්තු වූ විදිහේ සංකීර්ණ උපාංග ඒ තුල තිබුණේ නැහැ.

තව කාරණාවක්. එස් 4 බේස් එක තුල පමණක් විවිධ වූ වෙනස් හැඩති යානා තවත් අටක් තිබෙන බව මම නිරීක්‍ෂණය කලා. අනෙක් යානා වලට සාපේක්‍ෂව ගත් විට මම සහ බැරී කටයුතු කරනු ලැබුවේ ඉතාම කුඩා ප්‍රමාණයේ යානයක​.

ප්‍රචාලණ පද්ධතිය අධ්‍යයනයේ දී අපට එවකට තේරුම් ගත හැකි වුණේ මෙය ගුරුත්වය භාවිතා කර ප්‍රචාලණය වන බවයි. එනම් නිව්ටන් ගේ "සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් ඇත​" යන නියමයට සම්පූර්ණයෙන්ම පටහැනි තාක්‍ෂණයක්. මේකෙ තිබෙනවා මූලික කොටස් 3ක්. ගුරුත්ව තරංගය තමන්ට කැමති පරිදි වෙනස් කල හැකි ඇන්ටනාවක්, පදාර්ථ සහ ප්‍රති පදාර්ථ ප්‍රතික්‍රියාකාරකයක් සහ ගුරුත්ව විමෝචක තුනක්. මේ විමෝචක තුන හරහා යානයේ ගුරුත්ව ක්‍ෂේත්‍රය වෙනස් කිරීමට හැකිව තිබුණා. මෙම යානය බලගැන්වෙන්නේ එලිමන්ට් 115 කියන මුලද්‍රව්‍යයෙන්. මෙය පෘථිවියේ නිර්මාණය කොට තිබූ හෝ ස්වාභාවික මුලද්‍රව්‍යයක් නොවෙයි. ගුරුත්වය වෙනස් කිරීමේ හැකියාව​ එලිමන්ට් 115 වෙත තිබුණා කීවොත් නිවැරදියි. පදාර්ථ සහ ප්‍රති පදාර්ථ ප්‍රතික්‍රියාකාරකයකයේ එක් තැනකට​ එලිමන්ට් 115 යෙදූ ගමන් එය ක්‍රියාකාරී වනවා. බාහිර ස්විච කිසිවක් එහි තිබුණේ නැහැ. විමෝචක තුන මගින් යානය උඩට ගොස් ඇන්ටනාව හරහා ගුරුත්ව ක්‍ෂේත්‍රය නිර්මාණය වනවා. ගුරුත්ව විමෝචකයක් පමණක් ගලවා අරගෙන බැරී මට වරෙක පුදුමාකාර අත්දැකීමක් ලබා දෙනවා. ඔහු මට කියනවා මෙම ගුරුත්ව විමෝචකයට මාගේ දෑත් ලං කරන ලෙස​. මම එසේ කරද්දී එක තැනකින් එහාට තවදුරටත් මට අත් ලං කල නොහැකි වුණා. හරියට කිසිවකින් සිර කර දමලා වගේ. හැබැයි ඒ අවකාශය තුල මට වෙනස් කිසිම දෙයක් පෙනෙන්නට තිබුණේ නැහැ. මගේ දැනීම අනුව ඒ සීමාවේ ප්‍රතිගුරුත්ව ක්‍ෂේත්‍රයක් නිර්මාණය වෙලයි තිබුණේ.

යානයට දුර ස්ථානයකට ගමන් කිරීමේදී භාවිත වුණේ මෙන්න මේ වගේ තාක්‍ෂණයක්. පහළ තිබෙන​ ගුරුත්ව විමෝචක තුන ඉහළට එසවී ඒ තුනේම ධාරාවන් එක් තැනකට නාභි ගත කිරීම සිදු වෙනවා. ඉන් පසුව කාල අවකාශය නැමීමක් සිදු කරලා යානය ක්‍ෂණයකින් එම අවකාශය වෙත යොමු වෙනවා. මෙය දිගින් දිගට සිදු කරමින් තමයි යානය එක් ලක්‍ෂයකින් තවත් ලක්‍ෂයකට ගමන් කිරීම සිදු වන්නේ. පැහැදිලිවම කීවොතින් වේගය කියන සංකල්පය සම්පූර්ණයෙන්ම නිශේදනය වනවා. කාලය නැවීම නිසා පියැවි ඇසින් බලන කෙනෙකුට යානය එක්වරම අතුරුදන් වූ බවක් තමයි පෙනී යන්නේ. මෙය ප්‍රතිනිර්මාණය කිරීම කිසි ලෙසකින්වත් සිදු කල නොහැකියි. මෙම ගුරුත්ව ක්‍ෂේත්‍ර අත්දැකීම වුවද විය හැකි සම්භාවිතාව මත අප විසින් නිර්මාණය කරන ලද සිද්ධාන්තයක් පමණයි. කෙසේ නමුත් මට අවශ්‍ය වුණා මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු සොයා යන්න​. අප පරිශ්‍රයේම සිටි වෙනත් අයවලුන් සමග කතා බහ කරලා මට දැනගන්නට ලැබෙනවා මේ යානය ඇවිත් තිබෙන්නේ සෙටාර් රෙටිකියුලි කියන ආලෝක වර්‍ෂ 40ක් පමණ එහායින් වන තාරකා පද්ධතියකින් බව​.

වරක් මම ඇස් කොනින් දකින ලද දර්ශනය ඔබට කැමතිනම් විශ්වාස නොකර බැහැර කිරීමට පුලුවන්. මා වැඩ කරන යානයේම මැද තට්ටුවේ පිහිටා ඇති ආකාරයේම ආසනයක් අසල අප වැනිම විදයාඥයින් දෙදෙනෙකු කටයුතු කරමින් ඉන්නා ආකාරය මම දකිනවා. මාගේ විශ්වාසය නිවැරදි නම් මා දැක්කේ කුඩා ප්‍රමාණයේ විකෘති පෙනුමක් තිබූ යම් ජීවියෙක්. යානයේ ආකෘතිය සැලකිල්ලට ගතහොත් මේ ජීවියෙකු වැඩුණු මිනිසෙකුගේ බාගයක පමණ උසකට තමයි සමාන විය යුත්තේ. මා දුටු ජීවියාගේ අත් දිගින් වැඩියි. කෙසේ වෙතත් මෙය සනාථ කල නොහැකි අතර​, ජීවීන් පැමිණියා නම් ඔවුන්ගේ ශරීර ප්‍රමාණ නිර්ණය කර ගැනීම සඳහා සාදන ලද ඩමී ආකෘතීන් වුවද විය හැකි බව මාගේ අදහසයි.

වරක් ආරක්‍ෂක අංශ වලට හසු නොවන පරිදි එලිමන්ට් 115 මුලද්‍රව්‍යය යම් ප්‍රමාණයක් මම නිවසට ගෙන ගියා. ඔය අතරවාරයේ මට දැනගන්නට ලැබෙනවා බොහොම වැදගත් හෝඩුවාවක්. ඒ සෑම බදාදාවකම මේ යානා එස් 04 පරිශ්‍රයෙන් ඈත පැපෝස් ලේක් හි රාත්‍රි කාලයේ පියාසර කිරීම් සිදු කරන බව​. මේ දේවල් නිරීක්‍ෂණය කරන්න මම සහ මගේ මිතුරන් කණ්ඩායමක් යොමු වුනා පමණක් නෙවෙයි, ඒ දර්ශණ පටිගත කර ගන්නත් අපි සමත් වුණා.

මේ කටයුත්ත කරගෙන ගිය තුන්වන බදාදාවේදී අප අතටම හසු වනවා හමුදා භටයෙකුට​. ඔවුන් මේ පියාසැරි පරීක්‍ෂණ සිදු කරන්න ආරක්‍ෂාව වඩා පුලුල් කිරීමේ ප්‍රතිඵලයක් විදිහටයි අප හසු වෙන්නේ. සිදුවීමෙන් පස්සේ ඔවුන් මාව රැකියාවෙන් නෙරපනු ලබනවා. නාඳුනන මිනිසුන් මා පසුපස හඹා එන බව වැටහීමත් එක්කයි මේ සියලුම තොරතුරු මම සමාජ ගත කරන්නේ.

ඩෙනිස් නම් ව්‍යාජ නමකින් පෙනී සිට සම්මුඛ සාකච්ඡාවකට එක් වූ දර්ශණ​.

ඔහුගේ කතාව මෙයයි​. ඉන් පසුව 1989 කාල වකවානුව තුලදී මහා පෙරළියක්
සමාජය තුළ ඇති කරලන්න බොබ් ලසාර් සමත් වීය​. කෙසේ වෙතත් ගවේෂණාත්මක මාධ්‍යවේදීන් විසින් මෙම කතාවේ සත්‍ය අසත්‍ය බව සෙවීම සඳහා පෙළඹෙන අතරම​ එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම කතාවට පක්‍ෂව සහ ප්‍රති පක්‍ෂව කරුණු ගණනාවක් අනාවරණය කර ගැනීමට ඔවුන්ට හැකි විණ​.

MIT විශ්ව විද්‍යාලය සහ​ California Institute of Technology විසින් බොබ් ලසාර් නමින් ශිෂ්‍යයෙකු ඔවුන් සතුව අධ්‍යාපනය ලැබූ බව ප්‍රතික්‍ෂේප කරන ලදී. පශ්චාත් උපාධිය සඳහා පළ කල යුතු නිබන්ධන සම්බන්ධයෙන් වාර්තාවන් ද කිසිවෙකුට සොයා ගැනීමට හැකිවී නැත​. වරෙක මාධ්‍ය සාකච්ඡාවකදී ඔහුගේ නිබන්ධන මෙහෙයවනු ලැබූ ආචාර්‍යවරයා පිළිබඳව විමසීමේදී ඔහු නිරුත්තර වී ඇති අතර "ඒ පිළිබඳව මට මතකයක් නැහැ" යනුවෙන් පවසා ඇත​. එයද බොහෝ දෙනෙකුට ප්‍රශ්ණසහගත වී ඇත්තේ පශ්චාත් උපාධියකදී තමන්ගේ නිබන්ධනය මෙහෙයවනු ලබන ආචාර්යවරයාගේ නම අමතක වීම කිසිසේත්ම පිළිගත නොහැකි වන​ බැවිණි. එය රජයේ කුමන්ත්‍රණයක් විය හැකි යැයි කෙනෙකුට ප්‍රශ්ණ කල හැකි වුවද බොබ් ලසාර් සතුව ද නිබන්ධන කට්ටල නොමැති වීම ඔහු පිළිබඳ සැක සංකා තවදුරටත් තීව්‍ර කරනු ලබයි. කලකට ඉහත පොලිස් අත්අඩංගුවකට පත් වීමකදී නිලධාරීන් විසින් ඔහුගේ අධ්‍යාපනය පිළිබඳව විමසා ඇති අතර එහිදී ඔහු සඳහන් කර ඇත්තේ තමන් පැසිෆිකා විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යාව සහ​ ඉලෙක්ට්‍රොනික විද්‍යාව හැදෑරූ බවයි. නමුත් එවන් විශ්ව විද්‍යාලයක් එවකට තිබී නැත​.

බොබ් ලසාර් 1980 විවාහ දිවියට එළඹ ඇති අතර එහි පෝරමයන් පිරවීමේදී ද තමන්ගේ ඉහළම අධ්‍යාපන මට්ටම පිළිබඳ ඉහත කී පශ්චාත් උපාධි සම්බන්ධයෙන් සඳහන් කර නැත​. රැකියාව වශයෙන් දක්වා ඇත්තේ විදුලි ඉංජිනේරු ලෙසය​.

දෙමාපියන්, සහෝදර සහෝදරියන්ගෙන් මෙන්ම ඥාතීන්ගෙන් ද විශාල වශයෙන් ණය ලබා ගැනීමට බොබ් ලසාර් කටයුතු කර ඇත​. බැංකු වලින් ගන්නා ලද ණය ද ගෙවා ගත නොහැකිව අවසානයේ 1986දී තමන් බංකොලොත් බව ඔහු විසින් ප්‍රකාශ කර ඇත​. ණය ලබා ගැනීමේ නිශ්චිත හේතුවක් සඳහන්ව නොමැති මුත් ජෙට් එන්ජින් පිළිබඳව විශාල උනන්දුවක් දැක්වූ පුද්ගලයෙකු නිසා එම පරීක්‍ෂණ කටයුතු වෙනුවෙන් මුදල් යෙදවූවා වීමට ද පුලුවන​. කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීම සම්බන්ධව ද 1990 ලසාර් අත්අඩංගුවට පත් වන අතර එහිදී ඔහු එම වරද පිළිගෙන ඇත​.

කෙසේ වෙතත් 1989 ඒරියා 51 තොරතුරු හෙළිදරව් කිරීමේ පළිගැනීමක් වශයෙන් රජය විසින් මෙය සිදු කලාද යන්න තවත් පසෙකින් ගත් කල ගැටලු සහගතය​. ඔහුගේ අතීතය පිළිබඳ හාරා අවුස්සා බැලීමේදී නම් සැබවින්ම එය වියවුල් සහගතය​. භෞතික විද්‍යාව පිළිබඳ විෂය ප්‍රාමාණිකයින්ගේ අදහස වී ඇත්තේ බොබ් ලසාර් හුදු ෆැන්ටසියක් සමාජ ගත කිරීමේ උත්සහයක නිරත වූ බවයි. ඔහු එවන් ස්ථානයක​ සැබවින්ම රැකියාව සිදු කලා නම්, ඒ සඳහා ප්‍රමාණවත් දත්ත තිබිය යුතු බව ඔවුන්ගේ අනෙක් තර්කයයි. ඔහු සඳහන් කරන ආකාරයට අවකාශය නැමීම සඳහා අධි ගුරුත්වයක් නිර්මාණය කිරීමට නම් මුලු පෘථිවියේම තිබෙන නයෂ්ටීන් විනාශ කර ශක්තිය ලබා ගත යුතු යැයි සමහර භෞතික විද්‍යාඥයින් විසින් සිය මත පළ කර ඇත​. ගුරුත්ව විමෝචක තුලින් ධාරාවන් නාභිගත කර යානය ඒ වෙතට යොමු වීමේදී අනෙක් භෞතිකමය වස්තූන් ඒ වෙතට ඇදී නොගොස් යානය පමණක් ඇදී යන්නේ කෙසේදැයි යනුවෙන් ද ප්‍රති තර්ක නිර්මාණය වී ඇත​. සාපේක්‍ෂතාවාදයට අනුව ගත් කල්හි ගුරුත්වය යනු කාල අවකාශයේ වක්‍රතාවයක් මිස තරංගයක් නොවන බවද​ විෂය ප්‍රවීණයින් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් පොලීසියේ සේවය කරන ලද කණ්ඩායමක් එකතුව Lie Detector (තමන් ප්‍රකාශ කරන කාරණයේ සත්‍ය අසත්‍යතාවය මිනිය හැකි උපකරණයක්) උපකරණයකට බොබ් ලසාර්ව සම්බන්ධ කර අවස්ථා හතරකදීම කරුණු විමසා සිටින අතර ඒ සියල්ලෙන්ම තමා පවසන්නේ සත්‍යයක් බව ඔප්පු කරලීමට ඔහු සමත් විය​. FBI නිලධාරීන් විසින් ඔහුගේ නිවස උඩු යටිකුරු කර පරීක්‍ෂා කිරීමටත්, අමතරව එයම ඔහුගේ කුඩා ව්‍යාපාරික ස්ථානයටත් සිදු කිරීමට වග බලා ගන්නා අතර එම කටයුත්ත අවස්ථා දෙකකදීම ඔවුන් විසින් සිදු කරනු ලබයි. මෙම පරීක්‍ෂාව පිළිබඳ යම් යම් පිරිස් මත පළ කරනුයේ සඳහන් කරන පරිදි එලිමන්ට් 115 මුලද්‍රවයය ඔහු විසින් රැගෙන විත් ඇත්නම් නැවත එය ලබා ගැනීම සඳහා පිට පිට දෙවතාවක්ම FBI නිලධාරීන් විසින් මෙසේ උත්සාහ කරන්නට ඇති බවටයි. ලොස් ඇලමොස් ජාතික පර්යේෂණ ආයතනයේ ලසාර් රැකියාවක් සිදු කරන ලද්දැයි සොයා බැලීමට ද මාධ්‍යවේදීන් උත්සුක වී ඇති අතර ඔවුන්ද හැරෙන තැපෑලෙන්ම දන්වා තිබුණේ එවන් අයෙක් අපත් සමග සේවය කර නොමැති බවයි. කෙසේ වෙතත් මෙම ප්‍රකාශය දෙදරා යන්නේ කලකට ඉහතදී ලොස් ඇලමොස් මොනිටර් පුවත්පත විසින් ඔහු සමග ජෙට් එන්ජින් උනන්දුව පිළිබඳ සම්මුඛ සාකච්ඡාවක් සිදු කර ඇති අතර එම ලිපියේ ලසාර් ලොස් ඇලමොස්හි සේවය කර ඇති බව සඳහන් වී තිබීමත් නිසාය​.

EG & G ආයතනය විසින් නිකුත් කරන ලද දුරකථන නාමාවලියක ලසාර් ගේ නමත් ඔහුගේ දුරකථන අංකයත් සඳහන් කර තිබීම ඔහුගේ කතාවට පක්‍ෂව ගොඩනැගී ඇති අනෙක් තර්කයයි. විටෙක රාජ්‍ය බලපෑම් හේතුවෙන් මෙම ආයතන කරුණු සැගවීමට උත්සහ දැරුවා වීමට ද පුලුවන​. අවසානාත්මක වශයෙන් තවත් ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු විසින් ඒරියා 51 තුළ එස් 04 නමින් බේස් එකක් තිබූ බවට දැඩි පරිශ්‍රමයකින් පසුව සනාථ කර ගැනීමට සමත් වී තිබේ. ඉහත දක්වා ඇති ඔහු හැඳ තිබෙන එස් 04 පරිශ්‍රයට එය ඉතාම සමානකම් දක්වන බවද ඔවුන් විසින් සිදු කරන ලද අනෙක් සොයා ගැනීමයි. බදාදා දිනයන් හි සිදුවන පියාසැරි අත්දැකීම් සහ ලසාර් ලබාගත් වීඩියෝ දර්ශණ ව්‍යාජ හෝ සංස්කරණය කල ඒවා යැයි ඔප්පු කිරීමට ද රජය අසමත් වී තිබේ.

රැකියාවට අයදුම් කිරීමේදී ලසාර් ගේ පසුබිම සොයා බැලීමට පැමිණි නිලධාරියාගේ නම ඔහුට මතක තිබී ඇත​. නිලධාරියා මයික් තිග්පෙට් ය​. මාධ්‍යවේදියෙකු සමත් වන්නේ රජයේ රැකියා සඳහා අයදුම් කිරීමේදී පසුබිම් පිළිබඳ සොයා බැලීමට යොමු කරන රජයේ ආයතනයේ මයික් තිග්පෙට් කෙනෙකු සිට ඇති බවත්, මයික් තිග්පෙට් විසින් පිළිගෙන ඇත්තේ සැබවින්ම බොබ් ලසාර්ගේ පසුබිම් පුරෝකථනයක් ඔහු විසින් සිදු කරන ලද බවත් ය​. බොබ් ලසාර් ගේ කතාව පිළිගත හැකි තවත් එක් වැදගත් සාක්‍ෂියක් වනුයේ එවකට එස් 04 සඳහා රජයේ පුරප්පාඩු සපුරාලීමට සම්මුඛ පරීක්‍ෂණ තුලින් පුද්ගලයන් යොමු කර ඇත්තේ EG & G ආයතනය විසින් වීමයි. ඔහු පවසන්නේ බොරුවක් නම් මෙම කරුණු ඔහු දැන සිටින්නට ඇත්තේ කෙසේ ද​? තීරණය ඔබ සතුයි..

Extraordinary Beliefs විසින් 2018දී ඉදිරිපත් කරන ලද බොබ් ලසාර් සමග සිදු කල වාර්තා වැඩසටහන​:

Bob Lazar: Area 51 & Flying Saucers (2018) ⭐ 5.6 | Documentary
1h 37m | Not Rated

ලසාර් ගොඩනගන තර්කය වන්නේ මෙවන් රහස් ව්‍යාපෘති පිළිබඳ කාරණා විටෙක ඒ ඒ ආයතන හෝ ජනාධිපතිවරුන් පවා යම් අවස්ථාවන් වල නොදැන සිටි බවයි. කෙසේ වෙතත් මෙම කතිකාව නැවත ඇතිකරලීමේ හේතුව ඉකුත් දා ඇමෙරිකානු කොංග්‍රස් සභිකයින් විසින් හඳුනා නොගත් යානා පිළිබඳ විමසීම් ප්‍රසිද්ධියේ සිදුකරලීමය​. අද අපට මිත්‍යාවන් වශයෙන් ඔප්පු කිරීමට මහන්සි ගන්නා රජයන්ම පසුකාලීනව ඔවුන් විසින් එවන් පර්‍යේෂණ සිදු කරන ලද බව පිළිගැනීම හරහා මෙවන් කරුණු පිළිබඳ කලකට ඉහත දී අනාවරණයන් සිදු කල පුද්ගලයන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කල හැකිදැයි යන්න​ මම ඔබෙන් අසන පැනයකි.

අප සොයා තහවුරු කොට ගෙන ඇති භෞතික විද්‍යා රාමුවෙන් පිටත පැහැදිලි කිරීමට අපහසු නියමයන් තිබිය නොහැකි ද​?

දියුණු යැයි සම්මත ජීවීන් මනුෂ්‍ය වර්ගයා පමණක්ම​ ද​?


Latest