Skip to content

වැව් බැම්මේ ශක්තිය මනින්න රාජ්‍ය සේවකයෙකු ගෙන් උපකරණයක් ..!!

දේශීයව නිපදවා ඇති ඩිප් මීටර යන්ත්‍ර 

මෙරට ජලාශයන් වටා ඉදිකර ඇති වැව් බැමි ආරක්ෂාකාරීව පවතීද යන්න  වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් නිරතුරුවම  පරීක්ෂා කෙරෙන අතර ඒ සඳහා භාවිතා කරන උපකරණයන් අතුරින් එක්  උපකරණයක් වන "ඩිප් මීටර්" නම් උපකරණයට ආදේශක උපකරණයක්, දේශීය තාක්ෂණය උපයෝගී කරගනිමින්  නිපදවීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලශක්ති පරීක්ෂණාගාර උපකරණ අංශයේ උපකරණ අධිකාරි M.P.S.ප්‍රනාන්දු  සමත්ව ඇත.

M P S ප්‍රනාන්දු මහතා 

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් දිවයිනේ පිහිටි බොහෝ ජලාශයන්හි  වැව් බැමි ආරක්ෂාකාරීව පවතීද යන්න නිරතුරුවම පරික්ෂා කෙරෙන අතර ඒ සඳහා මේ වනවිටත් ජාත්‍යන්තර වශයෙන්  භාවිතා වන එක් ක්‍රමවේදයක් වන්නේ පීසෝ මීටර් මගින් ජල මට්ටම් මැනීමයි.ඒ සදහා භාවිතා වන උපකරණය Dip Meter  නමින් හඳුන්වන අතර දැනටමත් මෙරට බොහෝ ජලාශ වල එම ජාත්‍යන්තර උපකරණ භාවිත කරමින් පවතී.එහෙත්  එම ජාත්‍යන්තර උපකරණය දෝෂ ඇති වූ  බොහෝ විට එය අලුත්වැඩියාව සඳහා අවශ්‍ය අමතර කොටස් නොමැති බැවින් උපකරණය ඉවත දැමීමට සිදුවන අවස්ථාද ඇත. එබැවින් ඊට ආදේශක උපකරණයක් දේශීය තාක්ෂණයෙන් ඉතා අඩු මුදලකට  නිපදවීමට උපකරණ අධිකාරි M.P.S.ප්‍රනාන්දු  සමත්ව ඇත.

මෙම උපකරණය මේ වනවිට  විදේශ රටකින් ආනයනය කිරීමේදී රුපියල් 400,000/= පමණ වැය වන බවත් එහෙත් එය තමන් විසින් රුපියල් 125,000/= ක මුදලකින් මෙරටදී නිම කල බවත් එහි නිර්මාණකරු පැවසීය.

ඔහු විසින් මේ වනවිටත් මෙම උපකරණයට අමතරව තවත් විවිධ උපකරණ කීපයක් දේශීයව නිපදවා ඇති අතර ඉන් පළමු උපකරණය  "ස්වයංක්‍රීය දත්ත සන්නිවේදන ජල මට්ටම් මාපකය" වන අතර ඒ සඳහා පේටන් බලපත්‍රයක්ද ලබාඇති අතර  2005වසරේ පැවති නව නිපැයුම් සඳහා වන ජනාධිපති සම්මාන උළෙලේදී 2003 වසරට හිමි විශිෂ්ට සම්මානය දිනා 2006 වසරේ ජිනීවා නුවර නව නිපැයුම්   සඳහා වන ජාත්‍යන්තර ප්‍රදර්ශනයට ද ඉදිරිපත් කර ඇත. ඊට අමතරව ඔහුගේ මඟ පෙන්වීම මත  වර්ෂාමාන හා වාෂ්පීකරණ මාන 40 බැගින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ උපකරණ අංශය විසින් නිපදවාඇති අතර, මේ වනවිටත්  දිවයින පුරා එම උපකරණ ක්‍රියාත්මක වෙමින් පවතී.

M P S ප්‍රනාන්දු ගේ නවතම නිර්මාණය වන මෙම Dip Meter  පළමු උපකරණය ඔහුගේපෞද්ගලික  මුදලින් නිපදවා 2020 වසරේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාපයේ හුරුළු වැව ජලාශයේ දත්ත ලබා ලබාගැනීම සඳහා පරිත්‍යාග කර ඇත. එකල එම නිර්මාණය සිදු කිරීම සදහා ඔහුට වැය වී ඇත්තේ රුපියල් 25000/= පමණ මුදලකි.  මේ වන විට එම උපකරණ ඉතා සාර්ථකව ක්‍රියාත්මක  වෙමින් පවතී.මේ නිසාම කලාප කාර්යාලයන්හි ඉල්ලීම් වලට  අනුව නව උපකරණ 10ක් නිපදවීම ඔහු විසින් මේ වනවිටත් සිදුකර අවසන් ය.  ඒ සඳහා දෙපාර්තමේන්තුව විසින් මූල්‍ය ප්‍රතිපාදන  සපයා ඇත.

සිය නිර්මාණය පිළිබඳව  අදහස් දැක්වූ M.P.S.ප්‍රනාන්දු මෙසේ පැවසීය. " මෙම උපකරණය මුලින්ම පර්‍යේශණ මට්ටමින් 2020දී නිම කරලා අනුරාධපුර හුරුළුවැව ජලාශයේ සවි කළා. ඒකෙන් ඉතාමත් හොඳ නිවැරැදි  දත්ත ලබාදීම මේ වනවිටත් සිදු කෙරෙනවා. මේ නිසාම තමයි තවදුරටත් එය වැඩිදියුණු කරලා නව යන්ත්‍ර 10ක් නිර්මාණය කලේ. මේ සඳහා මගේ සේවක කණ්ඩායමත් මට සහාය වෙනවා.  දැන් රට තුල භාණ්ඩ වල මිල ගනන් ඉහල යෑම නිසා එදා රුපියල් 25000/= ට හදපු දේ දැන් නිපදවීමට රුපියල් 125,000/= පමණ වැයවෙනවා.  මගේ නිර්මාණය ජාත්‍යන්තර නිර්මාණයට වඩා ඉතා උසස් මට්ටමින් පවතිනවා. අපිට මෙය විදේශ රටවලට අවශ්‍ය නම් ආනයනය කරන්නත් පුළුවන්. මගේ නිර්මාණයේ ඇති නැවත ආරෝපණය කල හැකි බැටරිය එක් වරක් ආරෝපණය කල විට මාස තුනක් පමණ ක්‍රියාකාරී මට්ටමින් පවතිනවා. නමුත් විදේශ රටවලින් ගෙන්වන යන්ත්‍ර වල බැටරිය ක්‍රියාකාරී මට්ටමේ තියෙන්නේ සති  කිහිපයක්  පමණයි."

" අද රාජ්‍ය සේවය පිළිබඳව තියෙන මතය තමයි නිවැරදි ලෙස එය ක්‍රියාත්මක වෙන්නේ නෑ කියන එක. සාමාන්‍යයෙන් රජයේ සේවකයෙක් රජයෙන් දෙයක් ගන්නවා මිස රජයට මොකුත් ලබා දෙන්නේ නෑනේ. මම මේ ඒ සඳහා පුංචි ක්‍රියාකාරකමක් කරලා තියෙන්නේ. සමස්ථ රාජ්‍ය සේවයම එහෙම නෑ කියලා පෙන්වන්න. අපේ රටේ තවත් මේ වගේ හැකියාවන් ඇති පිරිස ඕනතරම් ඉන්නවා. ඔවුන් නිවැරැදි ලෙස හඳුනාගෙන ඔවුන්ගේ සේවය ලබා ගත යුතුයි රටට. මට මේ යන්ත්‍රය පෞද්ගලිකව නිෂ්පාදනය කරලා මුදල් ඉපයීමට අවශ්‍ය නෑ. මට අවශ්‍ය අපේ රටට දරන්න වෙන විදේශ පිරිවැයක් යම් තරමකින් හෝ ඉතිරි කරලා දීම පමණයි."

දේශීය නිමැවුම නිල වශයෙන් ආයතනය වෙත බාරදීම 

රටේ පවතින තත්ත්වය අනුව හා විදේශ රටවලින් මෙම උපකරණය ගැනීමට විශාල  මුදලක් වැය වන අතරඉතා අඩු මුදලකට දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු මෙවැනි නිර්මාණය කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා සමස්ත රාජ්‍ය සේවයම ආදර්ශයකි.

Latest