Skip to content

අයාලේ යන ගවයින් ගොවිපල වලට දෙන්න තීරණයක්..

ගවයින් අයාලේ යෑම සාමාන්‍ය ජනතාවට දැඩි පීඩාවක් ගෙන දෙන කරුණකි. අයාලේ  යන ගවයින් වගා බිම් වලට පැන හානි කිරීම් නිරන්තර අසන්නට ලැබේ. එපමණක් නොව අයාලේ යන ගවයින් හේතුවෙන් සිදුවන අනනතුරු ප්‍රමාණයද සුළු පටු නොවන්නේය. මෙම අනතුරු නිසා ගවයින් මෙන්ම මිනිසුන්ද ජීවිත වලින් වන්දි ගෙවා ඇත. එමෙන්ම අයාගේ යන ගවයින් අල්ලා ගෙන ගොස් අලවි කිරීමටද ඇතැම් හරක් හොරුන් කටයුතු කරති.

අයාලේ යන ගවයින් අල්ලා ගැනීමේ වගකීම ඇත්තේ ඒ ඒ ප්‍රදේශ වල පිහිටි පළාත් පාලන ආයතන වෙතය.නමුත් අයාලේ ගොස් සිටියදී අල්ලා ගන්නා ගවයින් අධිකරණණමය ක්‍රියා මාර්ග ගන්නා තුරු ගාල් කර තබන්නට පහසුකම් බොහෝ පළාත් පාලන ආයතන සතුව නැත. මේ නිසාම අයාලේ යන ගවයින් ඇල්ලීමට බොහෝ පළාත් පාලන ආයතන මැලි කමක් දක්වයි.

මෙහිදී සිදුවන අනිත් විශේෂත්වය වන්නේ එම සතුන්ව පළාත් පාලන ආයතන විසින් අල්ලා ගත් විට හිමිකරුවන් ඉදිරිපත් නොවීමය. මන්ද බොහෝ විට ඉදිරිපත් කරන ගවයින් රාජසන්තක කිරීමටත්, එම සතුන්ගේ හිමිකරුවන්ට කිසියම් දණ්ඩනයක් පැනවීමටත් අධිකරණය කටයුතු කරන නිසාවෙනි. තමන්ට පාඩු දෙකක් සිදු වන නිසා ගවයා වෙනුවෙන් අධිකරණයට ඉරිපත් නොවීමට ගව හිමියන් කටයුතු කරන්නේ ඒ නිසා බව මේ සම්බන්ධයෙන් කරන ලද සොයා බැලීමකදී අනාවරණය විය.

අයාලේ යන ගවයින් සම්බන්ධයෙන් ඉතාමත්ම කාලෝචිත මෙන්ම පැසසිය යුතු තීරණයක් ගැනීමට ටිකිරි කොබ්බෑකඩුව සබරගමුව පළාත් සභාවේ ආණ්ඩුකාරවරයා තීරණය කර ඇත. ඒ අනුව මින් ඉදිරියට සබරගමුව පළාත තුලදී අයාගේ ගොස් සිටියදී පළාත් පාලන ආයතන විසින් අල්ලා ගන්නා සියළුම ගවයින් ඒ පළාතේ දැනට පවත්වා ගෙන යන කෘෂිකර්ම ගොවිපලවල් වෙත බාර දීමට ආණ්ඩුකාරවරයා තීරණය කර ඇත.

සබරගමුව පළාත තුළ මේ වන විට කෘෂිකර්ම ගොවිපලවල් රැසක් පවත්වා ගෙන යයි. රත්නපුර, කරපිංච, බලංගොඩ, රජවක, කෑගල්ල, මාරුක්වතුර, බැමිණියවත්ත යන ප්‍රදේශ වල පිහිටි එම ගොවිපල ආශ්‍රිතව අක්කර 150 ක් පමණ භූමියක්ද පවතී. එම ගොවිපල වල පොල්, කොස්, වැනි භෝග මෙන්ම විවිධ එළවළු, පළතුරු සහ අල වර්ගද වගා කර ඇත. එමෙන්ම මේ සෑම ගොවිපලකම කොම්පොස්ට් පොහොර නිෂ්පාදන අංගනයක්ද පවත්වා ගෙන යයි.

ගොවිපලවල් වලට ගවයින් ලබා දීම තුළින් එම ස්ථාන වල නිෂ්පාදනය කරන කොම්පෝස්ට් පොහොර වල ප්‍රමිතිය ඉහළ නැංවිය හැකි බවද කෘෂි විද්‍යාඥයින් සදහන් කරයි. ඒ නිෂ්පාදනය කරන කොම්පෝස්ට් පොහොර වලට ගව අප ද්‍රව්‍ය එකතු වීමට සැළැස්වීමෙනි.

අයාලේ යන ගවයින් සම්බන්ධයෙන් වන මෙම තීරණය සබරගමුව ආණ්ඩුකාරවරයා විසින් දන්වා සිටියේ පසුගියදා රත්නපුරය දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ පැවති ක්ෂීර සමුච්චල මංගල්‍යට සම්බන්ධ වෙමිනි. මෙම සමුච්ච මංගල්‍යයට සබරගමුව පළාතේ කෘෂිකර්මයට සම්බන්ධ නිලධාරීන් මෙන්ම එම විෂය හදාරන දරුවන්ද එක්ව සිටියේය.

Latest