Skip to content

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ය හරහා සමෘද්ධි බැංකු විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්

රජය විසින් ක්‍රියාත්මක කරන දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදි ද්‍රවශීලතාවයට ලක්ව වත්කම් අහිමි වන රාජ්‍ය බැංකු රැකගැනීම සඳහා සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ මුදල් අවභාවිතා කිරීමට රජය සූදානම් වන බවට සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහා සංගම් හා කාර්යාල නිලධාරීන්ගේ සංගමය චෝදනා කරති.

මහනුවර පැවති මාධ්‍ය හමුවකදී අදහස් පලකල එම සංගමයේ සභාපති එන්.ඒ.අයි.බී.එම්. අබේසිංහ පවසා සිටියේ මේ හරහා සමෘද්ධි බැංකු දියකර හැරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුවද රාජ්‍ය බලධාරීන්ගේ එම සිහිනය සැබෑ වීමට 35 ලක්ෂ්‍යයක් වූ සමෘද්ධි ප්‍රතිලාභීන්  කිසිදා ඉඩ නොදෙන බවය.

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ හෙතෙම මෙසේද කීය. මෙම කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරමින් අස්වැසුම සමාජ ප්‍රතිලාභ වැඩසටහන හරහා පවුල් ලක්ෂ 12 කට ලෝක බැංකුව මගින් ලබාදෙන රුපියල් බිලියන 200 ක මුදල සමෘර්දි බැංකු වෙත ලැබීම අවහිර කොට එම මුදල් රාජ්‍ය බැංකු වෙත ලබාගැනීමට රජය මේ වන විට පියවර ගෙන තිබෙනවා.

මේ වන විට රජයේ බැංකු එනම් ලංකා බැංකුව රුපියල් බිලියන 22.000 ක් පමණ, මහජන බැංකුව රුපියල් බිලියන 7.000ක් පමණ , ජාතික ඉතිරිකිරීමේ බැංකුව රුපියල් බිලියන 2.200 ක් පමණ, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව රුපියල් බිලියන 1.300 ක් පමණ ණය ලබාදී තිබෙනවා. මේ ණය පෞද්ගලික අංශ වගේම රජය විසින්ද ලබාගෙන තිබෙනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට අනුව මේ ණය හිමිකරුවන් බැංකුවලට ණය ගෙවීම පැහැරහරිනවා. ඉන්පසුව වත්කම්අහිමිව දැඩි අපහසුතාවයට පත්වන රාජ්‍ය බැංකු පද්ධතිය රැකගැනීම සඳහා නීති විරෝධී ආකාරයෙන් පනතට පටහැනිව සමෘර්දි මුදල් රුපියල් බිලියන 200 ඒ බැංකුවලට ලබාගන්න තමයි දැන් කටයුතු කරන්නේ. මේක සත්‍ය තත්ත්වයක් බව අපි ඉතාමත් වගකීමෙන් කියනවා.

මේ වන විට සමෘර්දි ප්‍රතිලාභීන්ට උපදෙස් දීලා තියෙනවා මේ බැංකුවල ගිණුම් විවෘත කරන්න කියලා. හැඳුනුම්පත් නැති අයට පවා ගිණුම් විවෘත කරන්න කියලා උපදෙස් දීලා තියෙනවා. මේ හැම කෙනෙකුටම ගනුදෙනු කිරීම සඳහා බැංකු කාඩ්පත් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. මේක ඉතාමත් නීති විරෝධී වැඩක්. දිවි නැඟුම පනතේ 29 වන පිටුවේ පැහැදිලිවම සඳහන් කරලා තිබෙනවා රජය මගින් හෝ වෙනත් ආකාරයකින් මහජනතාවට ලැබෙන මුදල් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සමසමෘද්ධි හෝ දිවි නැගුම බැංකුවක ගිණුමක් අනිවාර්යයෙන්ම ක ආරම්භ කළ යුතුයි කියලා. රජය දැන් මේ පනත සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරනවා. එහෙම කරලා සමෘද්ධි බැංකු ටික වහන්නයි මේ අයගෙ සූදානම. දැන් මේ රජයේ වන්දිබට්ටකම් කරන මුදල් රාජ්‍ය අමාත්‍යවරු සමෘද්ධි බැංකුවේ, සමෘද්ධි නිලධාරීන්ගේ බොරු වැරදි ජනතාවට පවසමින් මතයක් ඇති කරන්න හදනවා. ඒ උත්සාහය හරියන එකක් නෙවෙයි කියලා අපි එයාලට කියනවා.

මේ වන විට සමෘද්ධි බැංකුවල වත්කම රුපියල් බිලියන 187 ක් වෙනවා. පසුගිය සමයේ ජනතාවට රුපියල් 5000 බැගින් ගෙවන්න ආණ්ඩුව ගත්තේ අපේ බැංකුවේ මුදල්. තවමත් ඒ මුදල් රුපියල් බිලියන 36ක් රජය අපිට ගෙවන්න තියෙනවා. අපේ අතිරික්ත මුදල් රුපියල් බිලියන ගණනාවක් අපි රාජ්‍ය බැංකුවල තැන්පත් කරලා තියෙනවා. රජය මේ විදියට කරන්න ආවොත් අපි ඒ මුදල් අරගෙන අපේ බැංකුවල දාගන්නව. එතකොට තමයි රාජ්‍ය බැංකුවල වත්කම් ශුන්‍ය වෙල ද්‍රවශීලභාවයට ඒ බැංකු පත් වෙන්නේ.

මෙහිදී  අදහස් පළ කළ සංගමයේ ලේකම් බී.එම්.ඒ.බී.බස්නායක කියා සිටියේ රජය කුමන උත්සාහයක යෙදුනද සමෘද්ධි බැංකු ව්‍යාපාරය අඩපන කිරීමට ඉඩ නොදෙන බවය.

අපි මේ අස්වැසුම සමාජ සුභසාධක ප්‍රතිලාභ වැඩසටහන ගෙනාපු වෙලාවෙම සමාජ සුභසාධන මන්ඩලයේ සභාපති ඒ විජේරත්න මහතාට පෙන්වා දුන්නා මේ පනතේ ඇති 21 වගන්තිය ඉවත් කරන්න හෝ සංශෝධනය කරන්න කියලා. නමුත් අපි කියන දේ සතපහකට ගණන් නොගෙන එයා කරපු දේ තමයි විවිධ සංගම්, බාහිර පාර්ශව, පාසල් සිසුන්, වැනි අය යොදවලා විශාල මුදලක් වැය කොට මේ සමීක්ෂණය කරපු එක. දැන් අද එකේ ප්‍රතිඵලය හම්බ වෙලා තියෙනවා. රටම අවුල් ජාලයක් වෙලා. අන්ත දුප්පත් දුගියාට ප්‍රතිලාභ නෑ. හොඳට ආදායම් තියෙන අයට ප්‍රතිලාභ තියෙනවා. මේකත් දේශපාලනීකරණය වෙලා තියෙන්නේ. ඒ අයට උපදෙස් ලබාදුන් විදිහට තමයි ඒ අය සමීක්ෂණය කළේ. මෙතන රජය ලොකු වරදක් කලා. මේ සමීක්ෂණයෙන් රාජ්‍ය නිලධාරීන් ඉවත් කරපු එක.

අපි කියන්නේ දැන්වත් 21 වගන්තිය සංශෝධනය කරලා මේ කටයුතු සමෘර්දි නිලධාරීන්ට පවරන්න කියලයි. එහෙම කළොත් අපි නැවතත් මේ සමීක්ෂණය කරලා සුදුසු පුද්ගලයන්ට මෙම ප්‍රතිලාභ ලබා දීමට අවශ්‍ය කටයුතු කරනවා යනුවෙන්ද හෙතෙම වැඩිදුරටත් කීය.

Latest