Skip to content

මිනිස් ජාවාරම මැඩපැවැත්වීමේ සම්මන්ත්‍රණයක්

සංක්‍රමණ පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය (International Organization for Migration – IOM), මිනිස් ජාවාරමට එරෙහි ජාතික කාර්යය සාධන බලකාය (National Anti- Human Trafficking Task Force – NAHTTF) හා එක්ව, මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් 2023 ජුලි මස 04 සහ 05 දෙදින කොළඹදී පවත්වන ලද හමුදා නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහන සාර්ථකව නිමාවට පත්විය.

ඒ අනුව, සංක්‍රමණ පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය (IOM) සහ ශ්‍රී ලංකාවේ මිනිස් ජාවාරමට එරෙහි ජාතික කාර්යය සාධන බලකාය (NAHTTF) එක්ව සංවිධානය කල මෙම පුහුණු වැඩසටහන සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් දස දෙනෙකු (10) සහභාගී වූ අතර, සංක්‍රමණ පිළිබඳ අන්තර්ජාතික සංවිධානයේ සහ මිනිස් ජාවාරමට එරෙහි ජාතික කාර්යය සාධන බලකායේ සම්පත් දායකයින් විසින් අනවසර සංක්‍රමණ, මිනිස් ජාවාරමේ ව්‍යාප්තිය සහ මිනිස් ජාවාරම මැඩපැවැත්වීමේ ක්‍රමෝපායන් පිළිබඳව ත්‍රිවිධ හමුදා නිලධාරීන් දැනුවත් කිරීම සිදුකෙරිණි.

නීති විරෝධී සංක්‍රමණ ලොව පුරා වේගයෙන් ව්‍යාප්තවීමත් සමඟ ඒ සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් මුහුදු මාර්ගයෙන් සහ දේශ සීමා ඔස්සේ සිදුකෙරෙන මිනිස් ජාවාරම කලාපීය හා කලාපීය නොවන රාජ්‍යයන් ගණනාවක ජාතික ආරක්‍ෂාව කෙරෙහි විශාල බලපෑමක් සිදුකරමින් ඇත. සාගර කලාපය ඔස්සේ සිදුකෙරෙන සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය අභියෝගයක් ලෙස සැලකෙන මෙම මිනිස් ජාවාරම මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව කලාපීය හා කලාපීය නොවන සමුද්‍රීය පාර්ශවකරුවන් සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන හා එක්ව විශාල දායකත්වයක් දක්වනු ලබයි.

තවද, මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් මඟින් ලබාගන්නා දැනුම, මිනිස් ජාවාරම මැඩපැවැත්වීම වෙනුවෙන් නාවික හමුදාව විසින් සිදුකරනු ලබන මෙහෙයුම් ඉදිරියේදී වඩාත් කාර්යක්‍ෂමව හා ඵලදායී ලෙස සිදුකිරීමට මහඟු පිටුවහලක් ගෙන දෙනුඇත.

Latest