Skip to content

ජාතික බලශක්ති සුරක්ෂිතතාවය අනතුරට පත්වෙන පනතක්

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගේ නිර්දේශ මත පත්කල කමිටුවක් විසින් ලංකා විදුලි බල මණ්ඩල පනත අහෝසි කර එහි සම්පත් 2007 අංක 7 දරන සමාගම් ආඥා පනත යටතේ ස්ථාපිත සමාගම් 14කට පැවරීම සදහා යෝජනාවලි‍යක් සහ පනත් කෙටුම්පතක් සකස් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝ‍ගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අනාවරණය කරනවා.‌‌‌‌

ජනක රත්නායක මහතා පෙන්වාදෙන්නේ අදාල කෙටුම්පතෙහි යෝජනා ක්‍රියාත්මක කළහොත් මහවැලි බලාගාර, ලක්ෂපාන බලාගාර, උමා ඔය ඇතුළු අනෙකුත් සියළුම ජල බලාගාර සහ නොරොච්චෝලේ ඇතුළු සියළු තාප බලාගාර වෙන් වෙන් සමාගම් වලට පැවරීම හේතුවෙන් ජාතික බලශක්ති සුරක්ෂිතතාවය සමාගම් වල පාලනයට නතු වන  බවයි.

ඊට අමතරව ජල බලාගාර අයත් සමාගම් වල ප්‍රමුඛතාවය අනුව බලාගාර වලට ජලය සපයන ගංගා හා ජලාශවල ජල කළමණාකරනය කළ යුතු බවට ප්‍රතිපාදනද මෙම කෙටුම්පතට ඇතුළත් කිරීමෙන් ජනතාවගේ කෘෂි හා පානීය ජල අවශ්‍යතා සම්බන්ධ අයිතිවාසිකම් වලට ද අභියෝගයක් එල්ල වනු ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පෙන්වා දෙනවා.

මෙම යෝජනාවලිය ක්‍රියාත්මක කලහොත් අනාගතයේදී,අදාල බෙදා වෙන් කරන සමාගම් පුද්ගලීකරණය කිරීම නිසා මේ රටේ බලශක්ති සුරක්ෂිතතාවය අනතුරුදායක තත්වයකට ඇද වැටෙන බවයි ඒ ම‌‌හතා පවසන්නේ.

බලාගාර සමාගම් වල අවශ්‍යතායට ප්‍රමුඛතාවය දී ජල බලාගාර සදහා ජලය සැපයෙන ගංගා හා ජලාශ වලින් ජලය මුදා හැරිය යුතු බවට ප්‍රතිපාදන මේ පනතට ඇතුළත් කිරීම හේතුවෙන් ගොවි ජනතාවගේ හා මහජනතාවගේ කෘෂි හා පානීය ජල අවශ්‍යතාවලට ප්‍රමුඛතාවය අහිමි වන බවද ජනක රත්නායක මහතා වැඩිදුරටත් සදහන් කළා.

Latest