නොරචෝලේ පිහිටි "ලක් විජය" විදුලි බලාගාරයේ ප්‍රයෝජනය සදහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඩොලර් මිලියන 4.5 ක මුදලක් වැය කර මිලදී ගෙන ඇති "බත්තල්" 03 ක් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන වසර 13 ක කාලයක් චීන වරායේ ගාල් කර ඇති බව විගනන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සදහන් වේ.
විගනන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් මෙම ලියුම්කරු තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ විදුලි බල මණ්ඩලයෙන් විමසීමක් කරන ලදි.
විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු ආර්.කේ.පී.එස්. ගුණතිලක මහතා විසින් අප විමසුමට පිළිතුරක් ලබා දී ඇත.එම පිළිතුරේ මෙසේ සදහන් වේ.
ලක්විජය බලාගාරයට විදුලි උත්පානය කිරීම සදහා නැව් මගින් ගෙන එන ගල් අගුරු,එම නැව් නැංගුරම් ලන ස්ථානයේ සිට බලාගාරයේ ජැටිය දක්වා ප්‍රවාහනය කිරීම සදහා 2010 මාර්තු මස 06 වැනිදා මෙම බත්තල් 03 මිලදී ගෙන ඇත.ඒ Chaina Machinery Engineering Corparation ආයතනයෙනි. එම කාලයේදී බත්තල් 03 මිලදී ගැනීම සදහා වැය කර ඇති මුදල ඇමරිකාණු ඩොලර් මිලියන 4.5 කි.
මිලදී ගත් එම බත්තල් වල බාරකාරීත්වය ලංකා විදුලි බල මණ්ඩලයට අයත්ව තිබුනත්,නඩත්තු කටයුතු බාරව තිබී ඇත්තේ ශ්‍රී ලංකා නැව් සංස්ථාවටය.
විදුලි බල මණ්ඩලය විසින් ගල් අගුරු ප්‍රවාහනය කිරීම සදහා මිලදී ගත් එම බත්තල් මේ වන විට නාවුක හමුදාව බාරයේ ඇති බැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර තෙරතුරු ලබා දිය නොහැකි බවද,අප ඉදිරිපත් කළ අයදුම්පතට ලැබී ඇති පිළිතුරේ සදහන් වේ.
නාවුක හමුදාව බාරයේ ඇති බව කියන මෙම බත්තල් 03 මේ වන විට කිසිදු ප්‍රයෝජනයක් නොගෙන ත්‍රීකුණාමළය චීන වරායේ ගාල් කර ඇති බව විගනන නිලධාරීන් විසින් නිකුත් කර ඇති වාර්තාවේ සදහන් වේ.මේ අතර, නැව් මගින් ගෙන එන ගල් අගුරු බලාගාරයේ ජැටිය දක්වා ප්‍රවාහනය සදහා ලංකා නැව් සමාගමේ බත්තල් කුලී පදනම මත යොදා ගෙන තිබෙන බවද එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.