Skip to content

ජුලි මාසයේ පළමු දින 10 තුළ අලි මරණ 7 ක්

2023 වසරේ ජුලි මාසයේදී පළමු වැනිදා සිට අද (10) වැනිදා දක්වා කාලය තුළ අලි මරණ 7 ක් වාර්තා වී තිබේ.

ජුලි 2 වැනිදා
මහකළුගොල්ල නැව්ගල වැව්යායේ මිණිකටුයාය ප්‍රදේශයේ තණ පිටියක තිබී මියගිය අලියෙකුගේ සිරුරක් හමුවී තිබුණි. මෙම අලියා වයස අවුරුදු 20 ත් 25 ත් අතර වයසැති අලියෙකු බව සඳහන්.

ජුලි 2 වැනිදා
තණමල්විල බලහරුව ගැමුණුපුර ප්‍රදේශයේ වෙඩි තබා ඝාතනය කර තිබූ අලියෙකුගේ සිරුරක් හමුවී තිබුණි. අවුරුදු 10 ක් පමණ වයසැති පිරිමි වන අලියෙකු මෙසේ මියගොස් තිබුණි.

ජුලි 4 වැනිදා
තණමල්විල – බලහරුව, ගැමුණු පුර ප්‍රදේශයේ ඉඩමක තිබී වෙඩි තබා ඝාතනය කළ බවට සැකකෙරන වන අලියෙකුගේ සිරුරක් හමු වී තිබුණි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 15 ක පමණ වන අලියෙකි.

ජුලි 4 වැනිදා
හක්කපටස් ආහාරයට ගැනීමෙන් අසාධ්‍ය තත්වයෙන් සිටි කෙ⁣නරක් මියගොස් තිබුණි.

ජුලි 6 වැනිදා
අම්පාර රජවැව ප්‍රදේශයේ විදුලි රැහැනක ගැටී අලි පැටවෙකු මියගොස් තිබේ.

ජුලි 09 වැනිදා
තිස්සමහාරාම කාවන්තිස්සපුර මාතකඩාර ප්‍රදේශයේදී වෙඩි වැඩි මිය ගිය අලියෙකුගේ සිරුරක් හමුවී තිබුණි

ජුලි 09 වැනිදා

තණමල්විල දෙමලිය ප්‍රදේශයේ අගලකට වැටී පණ අදිමින් සිටි වන අලියෙකු මිය ගොස් තිබේ. දින 10ක් පමණ තිස්සේ මෙම වන අලියා අගල තුළ පණ අදිමින් සිටි බවයි ප්‍රදේශවාසීහු පැවසූහ.

(දිනපතා පුවත් පත් වාර්තා ඇසුරිණි)

අලි – මිනිස් ගැටුම විසඳන්න ජාතික වැඩපිළිවෙළක් අවශ්‍යයි

අලි මිනිස් ගැටුම විසඳීම සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙලක් ඇති කළයුතු බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් හා ඊට අදාළ අනෙකුත් සියලුම ආයතනයන්ගේ මැදිහත්වීමෙන් සකස් කෙරෙන අලි මිනිස් ගැටුම විසඳීම සම්බන්ධයෙන් වූ ජාතික ප්‍රතිපත්තිය හා වැඩපිළිවෙළ පාර්ලිමේන්තුව තුළ විවාදයට ගත යුතු බවත්, ආංශික අධීක්ෂණ කමිටුවලට යොමු කර අවශ්‍ය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිසි සැකැස්මක් සකස් කළ යුතු බවත් අමාත්‍යවරිය පැවසුවාය.

වත්මන් තත්වය තුළදී අලි මිනිස් ගැටුම මෙරට ප්‍රධාන ගැටලුවක් බවට පත්වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විසඳුම් සෙවීමේදී කොතරම් මුදලක් වැය වුවද වැයවන මුදල නොව ස්ථිරසාර විසඳුමක් ලබාගැනීමට කටයුතු කළ යුතු අමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් පැවසීය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් ප්‍රතිපත්ති හා වැඩපිළිවෙල සකස් කරන විට කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන විසඳුම් සහිතව සැකසිය යුතු බවත් ගැටලුව උග්‍රවීමට අතීතයේ ගත් තීන්දු තීරණ බලපෑ බවත් අමාත්‍යවරිය සඳහන් කළාය.

මේ හේතුවෙන් මෙරට ජනතාව මෙන්ම අලින්ද දුක් විඳින බවත්, වන අලි සංරක්ෂණය වෙනුවෙන් ප්‍රධාන සැලසුමක් හැකි ඉක්මනින් සකස් කළ යුතු බවත් අමාත්‍යවරිය පැවසීය.

Latest