Skip to content

දුම්රිය දෙපාර්තමේන්තුවට මාසෙකට එන්න තිබුණු ලක්ෂ 400 ක සංචාරක ආදායමක් අහිමිකරලා

ශ්‍රී ලංකා සංචාරක කේෂ්ත්‍රයට අලුත් අත්දැකීමක් ලෙසින් දෙස් විදෙස් සංචාරකයින් සදහා විශේෂ අධි සුඛෝපභෝගී දුම්රිය සේවාවක් ආරම්භ කිරීම වෙනුවෙන් එළි දැක්වීමේ උත්සවයක් පසුගිය ජනවාරි 27වන දින සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්සවශ්‍රීයෙන් ආරම්භ වුවද එම ව්‍යාපෘතිය මාස තුනක් යනතෙක් තවමත් ක්‍රියාමක වී නොමැත.

මෙම අධි සුඛෝපභෝගී දුම්රිය සේවය Ceylon Miracle Journey නම් පුද්ගලික ආයතනයක් හරහා ක්‍රියාත්මක වීමටයි කටයුතු යොදා ඇත්තේ. දේශීය විදේශීය සංචාරකයින් පමණක්ම ඉලක්ක කර ගනිමින් මෙම ව්‍යාපෘතිය සදහා අදාල ආයතනය මුදල් ආයෝජනය කිරීමට සැලසුම්කර ඇත.

සෑම සතියකම අඟහරුවාදා සහ සෙනසුරාදා කොළඹ සිට ඇල්ලටත්, බදාදා සහ ඉරිදා දිනයේදී ඇල්ල සිට කොළඹටත් ආකාරයෙන් ගමන් වාර දෙකක් සැලසුම්කර ඇති අතර  මෙහි ගමන් කරන සංචාරකයින්ගෙන් එක් අයෙකුගෙන් ඩොලර් 99.99ක් අය කිරීමට නියමිත බවයි සිලෝන් මිරැකල් ජර්නි ආයතනයේ නිළධාරියෙක් සදහන් කරන්නේ.

මෙම දුම්රියේ ආසන 308ක් යෙදීමටත් ඒ අනුව එක් ගමන් වාරයකදී ඉපැයීම් වලින් ලක්ෂ 25ක මුදලක් දුම්රිය දෙපාර්තමේන්තුවට ලබාදීමටත් සතියක් තුල යන ගමන්වාර 4කදී රුපියල් ලක්ෂ 100ක මුදලක් ලබාදීමට ‍යෝජනාවූ බවද සිලෝන් මිරැකල් ජර්නි ආයතනයේ නිළධාරියෙක් වැඩිදුරටත් සදහන් කළේය.

නමුත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාලව දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන තෙක් කිසිදු සහයෝගයක් ලබාදී නොමැති නිසා ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නොහැකි තත්වයක් උද්ගතවී ඇති බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කලේ.

මෙම සංචාරක දුම්රිය 2023 පෙබරවාරි 14වනදින ආර්ම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කරමින් ජනවාරි මස 27වන දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී නිළ වශයෙන් එලි දැක්වීමේ උත්සවය සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඇමතිතුමාගේ මූලිකත්වයෙන් එම සමාගම විසින් රුපියල් ලක්ෂ 80ක වියදමක් දරා ආකර්ශණීය ආකාරයෙන් සිදුකර තිබේ.

මෙම අවස්ථාව ලංකාවේ ජාතික නාලිකා දෙකක් තුලින් සිය ප්‍රවෘත්ති විකාශණයේද පල කර තිබේ. එහි පවසන ආකාරයට සංචාරකයින් සදහා මෙම දුම්රිය නැවුම් අත්දැකීමක් එකතු කරන්නකි.

මෙවන් ආකර්ශණීය එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවට ලාභදායි ව්‍යාපෘතිය නොකෙරෙන්නේ මන්දැයි අප දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වාණිජ අධිකාරී ගුණසේකර මහතාගෙන් විමසීමක් කලෙමු.

විශේෂ දුම්රිය සේවයක් ඕනෙම කෙනෙකුට ඉල්ලුම් කිරීමෙන් ලබාගන්න පුලුවන්. මෙයත් එහෙම ඉල්ලීමක් ආපු එකක් මිස දීර්ග කාලීන යන වැඩසටහනක් විදිහට අපට ආවේ නැහැ. එහෙම එනවා නම් අවබෝධතා ගිවිසුමක් සමගයි කරන්න පුලුවන් වෙන්නේ. එහෙම නැතුව සමාගමකට කැමති මුදලකට ටිකට් පතක් අලෙවි කරලා ඉන් ලැබෙන ආදායමෙන් කොටසක් දුම්රිය දෙපාර්තමේන්තුවට දෙන වැඩ පිළිවෙලක් කොහෙත්ම අපි සාකච්ඡා කරලා නැහැ.

අපි ඒ සදහා අවසර දීලත් නැහැ. වැඩි මිලකට ටිකට් පතක් දීලා පසුව දුම්රිය නිසි පරිදි දෙන්න බැරි වුනොත් මිනිස්සු දෝෂාරෝපණය කරන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවටයි.

මේ සම්බන්ධයෙන් ප්‍රවාහන ඇමතිතුමාවත් දන්නේ නැහැ. එහෙම දන්නවානම් වැඩසටහනේ එළි දැක්වීමේ අවස්ථාවට අනිවාර්යෙන්ම ඇමතිතුමා සහභාගි විය යුතුයි. මේක මේ සමාගමේ අවශ්‍යතාවයට කල දෙයක් හැටියටයි මම දකින්නේ.

ඔහු පවසන ආකාරයට අදාල සමාගම මගින් තම වෙබ් අඩවි භාවිතා කරමින් දිගින් දිගටම ප්‍රචාරණ කටයුතු සිදුවන බව පෙනී යයි. කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය හරහා සංචාරක ආකර්ශණය වැඩි කරමින් ඩොලර් රටට ඉපැයීමේ හොද ව්‍යාපෘතියක් ලෙසයි අදාල සමාගමේ ප්‍රකාශකයෙක් සදහන් කරන්නේ.

එවන් වටපිටාවක් තුල මෙම ව්‍යාපෘතිය හරහා වෙනත් පාර්ශවයකට සන්තෝෂමක් නොලැබීම තුල ව්‍යාපෘතිය නොකෙරන බවට කතිකාවක්ද හටගෙන තිබේ.

සංචාරක ක්ෂේත්‍රය දියුණු කරමින් රටේ ආර්ථිකයට ශක්තියක් එක් කරන්නට ඉවහල්වන මෙවන් ව්‍යාපෘතීන් පිළිබදව සොයා බලා කටයුතු නොකිරීම විමතියට කරුණක්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සංචාරක කර්මාන්තය දියුණු කිරීමට පියවර ගන්නා ලෙසට අදාල නිළධාරීන්ට උපදෙස් පවා ලබාදෙන වටපිටාවකදීයි මෙම ව්‍යාපෘතිය මගහැර ඇත්තේ.

සංචාරක අමාත්‍යවරයා හා ප්‍රවාහන අමාත්‍යවරයා එකම කැබිනට් මංණ්ඩලයක් තුලදී මෙම කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා මාර්ගයට පිවිස පියවරක් ගත හැකිනම් වඩාත් යෝග්‍ය නොවන්නේද.

Latest