Skip to content

චීනයේ අවන්හලක සිදුවූ ගෑස් පිපිරීමකින් 31ක් මරුට

පුද්ගලයින් 31 දෙනෙකුට මරු කැඳවමින් වයඹ දිග චීනයේ BBQ අවන්හලක සිදුවූ පිපිරීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් 9 දෙනෙකු මේ වන විට​ අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රාදේශීය වේලාවෙන් බදාදා රාත්‍රියේ යින්චුවාන් නගරයේ සිදුවූ මෙම පිපිරීමට ගෑස් කාන්දුවක් හේතු වී ඇති බවට අනාවරණය කොට ගෙන තිබේ. චීන ජනාධිපති ෂී ජින්පින්ග් විසින් ගලවා ගැනීමේ මෙහෙයුම් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසටත් මෙම පිපිරීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙසටත් ඉල්ලා ඇත​.

එරට​ රාජ්‍ය මාධ්‍ය වාර්තා කර සිටින්නේ අත් අඩංගුවට පත්ව ඇති පුද්ගලයන් අතර මෙම සිදුවීම වූ Fuyang Barbecue අවන්හලේ හිමිකරුද සිටින බවයි. චීනයේ දින තුනක ඩ්‍රැගන් බෝට්ටු සැණකෙළි නිවාඩුව (Dragon Boat Festival) ආසන්නයේ බොහෝ පවුල් සහ මිතුරන් උත්සව ආහාර සඳහා එක්රැස් වන අවස්ථාවක මෙම පිපිරීම සිදුව ඇතැයි වාර් තා වේ. මියගිය අය අතර උසස් පාසල් සිසුන් සහ විශ්‍රාමිකයින් කිහිප දෙනෙකු ද සිටින බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි. පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇති බවට​ අපේක්ෂා කරන බව Xinhua පුවත් ඒජන්සිය වාර්තා කරයි.

මෙම අවන්හල​ Ningxia පාලන කලාපයේ අගනුවර වන Yinchuan නගරයේ ආපනශාලා සහ විනෝදාස්වාද ස්ථාන සමූහයක කොටසකි. සීසීටීවී දර්ශන මගින් ගිනි නිවන භටයින් විශාල පිරිසක් ගින්න මැඩපැවැත්වීමේ මෙහෙයුම් වල නිරත වන ආකාරය දක්නට ලැබී ඇති අතර අවන්හල අසල වීදියේ වීදුරු කැබලි සහ අනෙකුත් අපද්‍රව්‍ය විසිරී තිබෙනු ද දැකගත හැකිය​. ​තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීමට සහ ආරක්‍ෂිත පියවර ඉහළ නැංවීමට උපරිම උත්සාහයක් ගන්නා ලෙස ජනාධිපති ෂී ජින්පින් අදාළ අංශ වලින් ඉල්ලා ඇති බවද වැඩිදුරටත් දැක්වේ.

Latest