වර්තමානයේ රජය විසින් සිදු කරන ඇතැම් ප්‍රකශ සහ ක්‍රියා කරකම් අනුව පැහැදිලිවම පෙනී යන්නේ ලබන වසර තුළ අපට තවත් ටිකක් පටි තද කර ගන්න සිදුවීම යැයි ශ්‍රී ලංකා පරිපාලන ආයතනයේ හිටපු ජේෂ්ඨ උපදේශක මහාචාර්ය ශාන්ත ජයරත්න මහතා සදහන් කරයි.
Getpeakonline සමග සාකච්ඡාවකට එක් වෙමින් මහචර්ය ශාන්ත ජයරත්න මහතා මෙසේද කියා සිටියේය.

සාමාන්‍යයෙන් "පටි තද කරගන්න වෙයි" කියන්නේ ජීවත් වීම තවත් දුෂ්කර වෙනවා කියන එකට බව ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ. ඔබලාට ඒක හොඳින් පුරුදු ඇති නේ මේ වෙනකොට. ඇත්තටම ජනාධිපති තුමා ඔබලාගේ පටි තද කරගන්න කිව්වේ 2022 දෙවෙනි කාර්තුවේ ඉඳලා නේ. එහෙම නම් 2024 අවුරුද්දට දැම්ම ලෑස්ති වුනොත් නරකද ? මොකද මේ යන විදිහට අළුත් පටියක් ගන්න සල්ලි හොයාගන්නත් වෙයි වගෙයි.
අපේ දෛවය තීරණය කරන සුන්දර සැප්තැම්බරය
අපිට කොහොමත් මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසය කියන්නේ තීරණාත්මක මාසයක්.එකක් ඒ වෙනකොට අපේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන්. අපිට තීරණය කරන්න පුළුවන් අපේ බැංකු පද්ධතිය,අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල වගේ ඒවට මොකද වෙන්නේ කියලා. ඊලඟට විදේශීය ණයත් ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කරන්න ඕනේ. සැප්තැම්බර් මාසයේ අගදී IMF දෙවෙනි සමාලෝචනය කිරීමට නියමිතයි. ඉන් පසුවයි ඔවුන් දෙවන වාරිකය නිදහස් කරනවා ද නැද්ද යන්න තීරණය කරන්නේ. එය ඩොලර් මිලියන 333 (SDR 254) පමණ වෙනවා. මේ කඩුල්ල පැන ගැනීම රජයට තිබෙන ලොකුම අභියෝගයක්. ඊට පස්සේ කරන්න ඕනේ ඒවා ජනයාගේ කටට බයිනේත්තුව ඔබලා හරි කරගන්න පුළුවන් බව පාලකයන් දන්නවා .
පටි තද කරගන්නට වෙන්නේ ඇයි
2022 අයවැයේ රජයේ බදු ආදායම රුපියල් බිලියන 1751 ක්. එය 2023 වර්ෂයේ රුපියල් බිලියන 3130 දක්වා ඉහළ දමා තිබෙනවා. එය 2022 ට වඩා රුපියල් බිලියන 1379 ක වැඩි වීමක්. මෙය ප්‍රතිශතයක් ලෙස 2022 ට සාපේක්ෂව 78.74% ක වැඩිවීමක්. කොහොමත් බදු වැඩි කිරීම ක්‍රියාත්මක වූ 2022 තුන්වෙනි කාර්තුවේ තද කරපු පටිය 2023 වර්ෂය පුරාවට තද කරගෙන ඉන්න වුණේ ඇයි කියලා හිතාගන්න පුළුවන් නේ. මෙම වැඩිවීම සෘජු සහ වක්‍ර බදු යන දෙකටම විශාල වශයෙන් බලපාපු බව අපි දන්නවා. එහෙම නම් ඔබට 2024 වර්ෂයේ තවත් පටිය තද කරගන්නට වෙන්නේ මෙන්න මේ පසුබිම තුල ඉඳිමින්. (IMF වැඩසටහන .pp.41 Table 2a)
දුප්පත් කම පැටව් ගහන ලංකාව
මේ බදු වැඩි වීම නිසා, 2022 - 2023 වර්ෂයේ ඇති වෙච්ච ප්‍රශ්න අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ නොවැ. ලෝක බැංකුව පසුගිය දා ලංකාවේ පවතින තත්ත්වය ගැන නිකුත් කළ වාර්තාවට (Sri Lanka Development Update October 2022) අනුව 2021 දුප්පත් කම 13.1% තිබුණ එක 2022 අවසානය වෙනකොට 25.6% ක්. ඒ කියන්නේ ලංකාවේ ජනගහනයෙන් 1/4 කටට වඩා දරිද්‍රතා රේඛාවෙන් පහළ. එය 2023 තවත් වැඩි වේවි. ඒ වගේම මධ්‍යම පාන්තික දුප්පත් කම 5% ඉඳල 15% දක්වා 2022 දී තුන් ගුණයකින් වැඩි වෙලා කියලා ලෝක බැංකුව කියනවා. එහි බලපෑම තේරෙනවා පුහුණු ශ්‍රමිකයන්ගේ රට හැර යාම බලපුවහම. විශේෂයෙන්ම වෛද්‍යවරුන් 1000 කට වැඩි ප්‍රමාණයක් 2022 දෙසැම්බර් වෙන කොට රට හැර ගිහිල්ලා. ඉන් විශේෂඥ වෛද්‍යවරුන් 125 -150 අතර පිරිසක් පසුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසය වන විට රට හැර ගොස් තිබෙනවා. දිනකට විදේශ ගත වීමට අයදුම් පත්‍ර 50-60 ලැබෙන බව වෛද්‍යවරුන්ගේ සංගමය( GMOA ) ප්‍රකාශ කරනවා. ඊට අමතරව බැංකු සේවකයින්,ගණකාධිකාරි වරුන් දහස් ගණනක් රට අතහැර ගිහිල්ලා. පරිඝණක ඉංජිනේරුවන් 20000 කට වැඩි පිරිසක් විදේශ ගත වෙලා තිබෙනවා. මේවායේ නිවැරැදි දත්ත සොයාගැනීම පවා දුෂ්කර වී තිබෙනවා.
බදු ආදායමේ වාර්තාගත වැඩි වීමක්
2023 රුපියල් බිලියන 3130 ක් වන සමස්ත බදු ආදායම 2024 දී රුපියල් බිලියන 4154 දක්වා වැඩි කර ගත යුතු බව IMF රජයට උපදෙස් දී තිබෙනවා. එය තවත් 32.70% වැඩි වීමක්. මේ අනුව බලන කොට 2022 ට සාපේක්ෂව 2023 +2024 වර්ෂ දෙකේ බදු ආදායම 111.44% කින් වැඩි කර ගැනීමට රජය බලාපොරොත්තු වෙනවා. බදු ගෙවිය හැකියි එහෙත් ඊට ගැලපෙන ආකාරයට ඔබගේ ආදායම වැඩි වෙලා තිබෙනවා ද?
කෙසේ වෙතත් දැනට වාර්තා වන 2023 පළමු කාර්තුවේ බදු ආදායම සමග සැසඳීමේදි වර්ෂය අවසානයේ ඉලක්කය පහසු නැහැ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අනුව ඔවුන් 2023 පළමු කාර්තුවේ එකතු කරගත් ආදායම රුපියල් බිලියන 316 ක්. ඊට අමතරව සුරාබදු , ආනයන බදු යනාදිය සියල්ල එකතු කලත් පළමු කාර්තුවේ රජයට ලැබී තිබෙන බදු ආදායම ආසන්න වශයෙන් රුපියල් බිලියන 517 ක් පමණයි. මේ අනුව 2023 වර්ෂයට බලාපොරොත්තු වන බදු ආදායම පවා එකතු කරගැනීම අභියෝගයක්. එවැනි පසුබිමක් තුල 2024 ඉලක්කය ලඟා කරගැනීම සඳහා රජය විසින් තවත් බදු ප්‍රතිශතයන් ඉහළ දැමීම හෝ අළුත් බදු හඳුන්වා දීම හැර වෙනත් විකල්ප නැහැ.
2022 ආර්ථිකයේ හැකිලීම -7.8% වී 2023 දී එය තවත් -3.0% කඩාවැටීමට නියමිත බව IMF වාර්තාව කියනවා. පවතින තත්ත්වයන් සමග ගැලපීමේදි එය ඊටත් වඩා කඩා වැටෙන බව පේන්නට තිබෙනවා. මෙසේ වීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ අපනයන ක්ෂේත්‍රයේ බිඳවැටීම. 2022 වර්ෂය අවසානයේ 30% කින් කඩා වැටුණු ඇඟැලුම් අපනයනය 2023 අවසානය වන විට තවත් පහත යනු ඇති.
ලංකාව චකබ්ලාස් වෙයිද
බදු ආදායමේ සැලකිය යුතු දායකත්වයත් උසුලන්නේ වැට් (VAT ) බද්දයි. එය රටේ සෑම පුරවැසියෙක්ම ගෙවීමට අවශ්‍ය වක්‍ර බද්දක්. ඔබ බෙහෙත් පෙත්තක් ගත්තත්,හාල් සේරුවක් ගත්තත් ඒ බද්ද අදාලයි. මේ මගින් රජය 2023 රුපියල් බිලියන 796 ක් එකතු කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. එය IMF නිර්දේශ අනුව 2024 වෙනකොට රුපියල් බිලියන 1456 දක්වා වැඩි කරගන්න ඕනේ. ඒක ප්‍රතිශතයක් හැටියට 82.91% ක් වැඩි වීමක්. මෙය ඔබට කෙසේ දරාගැනීමට හැකි වේවිද කියා දන්නේ උඩ ඉන්න දෙවියන් පමණයි.
මෙහෙම වැට් බදු ආදායමක් එකතු කරගන්න නම් ඔබේ ආදායම ඊට සාපේක්ෂව වැඩි වෙන්න ඕනේ. ඔබගේ මිල දී ගැනීමේ හැකියාව වැඩි නොවුනහොත් ආණ්ඩුවට මේ ඉලක්කවලට යාමට නොහැකි වෙනවා. එහෙම වුනොත් ලංකාව Chock-a-block (චකබිලාස්) වෙන එක වැලැක්විය නොහැකියි. රජය ඒ ගැන වගේ වගක් නැතිව ඉන්නවා. මේ වන විට වෙළෙඳපොළ පුළුල් කිරීමට,පුද්ගලික ආයෝජන වැඩි කිරීමට කටයුතු කරන්න රජය උනන්දු වෙන්න ඕනේ. ණය පොලිය අඩුකොට හෝ තෝරාගත් අංශ වලට සහන ලබා දී ආයෝජන වැඩිකොට මිනිසුන්ගේ ආදායම වැඩි කිරීමට කටයුතු කරන්න ඕනේ. ආනයන සීමා ඉවත් වෙන්න ඕනේ. අටු කොටු පිරෙන්න ඕනේ. හැබැයි එහෙම වෙන බවක් පේන්න නැහැ.
වයින් වීදුරුව ලොකු කරගන්න පිරිස
මෙම පීඩනය වඩාත්ම දැනෙන්නේ මධ්‍යම පාන්තික වැටුප් ලබන ශ්‍රමිකයාට සහ දෛනික ආදායමක් උපයන අවිධිමත් රැකියා කරන ජනතාවට. හැබැයි ඉහළ මධ්‍යම පන්තිය මෙහි වාසිය ලබා ගන්නවා. ඔවුන්ගේ ආදායම එන්න එන්නම යනවා. ඉහළ වයින් වීදුරුවේ කට තව තවත් ලොකු කරගන්නවා. පහළට වැක්කෙරෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒකට කියන්නේ Trickle Down Economics කියලයි. එය නව ලිබරල්වාදී ආර්ථික වලට ආවේනික ලක්ෂණයක්. එය පාලනය කරගැනීමට රජයට යම් කාර්යභාරයක් කිරීමට තිබෙනවා. එහෙත් ලංකාවේ රජයට එහෙම අවශ්‍යතාවක් නැහැ.
කෙසේ වෙතත් ,ඔබට 2048 වෙනකන් ජීවිතය ගැටගහගෙන ඉන්න වෙනවා. මොකද අපි සංවර්ධිත රටක් වෙන්න බලාපොරොත්තු වෙන්නේ 2048. එතකොට අපේ ඒක පුද්ගල ආදායම ඩොලර් 23,000 විතර වෙයි කියලයි හිතෙන්නේ? මගේ නම් ප්‍රාර්ථනාව මැරෙන්න කලින් ඒකත් දැකල මැරෙන්න . මොකද ඊලඟ භවය මෙහෙම දුකක් නැති ග්‍රහලෝකයක හරි උප්පත්තියක් ලබන්න පුළුවන් වෙයි. ඔබත් එහෙම හිත හදාගන්න.