Skip to content

අස්වැසුමෙන් පවුල් ලක්ෂ 20ක් අස්වසන්න යයි. ප්‍රතිලාභ දීම ලබන මාසයේ සිට!

අස්වැසුම වැඩසටහන මගින් එළඹෙන ජූලි මාසයේ සිට පවුල් ලක්ෂ 20කට අයත් පුද්ගලයන් ලක්ෂ 80කට අධික පිරිසකට සහනාධාර සැලසීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ මෙම සහනාධාර ලැබීමට නුසුදුසු අය පිළිබඳවත් සොයා බලන අතර ඒ සඳහා තොරතුරු සොයා බැලීමට සමාජ සුභ සාධන පනත ක්‍රියාත්මක කරන බවයි.

''රටේ ඇතිවුන සුවිශේෂී ආර්ථික ප්‍රශ්ණය නිසා ආර්ථික වර්ධන වේගය පසුගිය වසරේ 7.8% සෘණ වුණා.  ඒ කියන්නේ හැම අයකුගේම ජීවනෝපාය දුර්වල වුණා. කඩා වැටුණා. යැපුම් මට්ටමේ හිටපු කෙනා ද්‍රරිද්‍රතා රේඛාව ආසන්නයේ හිටපු කෙනා ඉන් පහළට කඩා වැටුණා. ලක්ෂ 70 අධික පිරිසක් ද්‍රරිද්‍රතා රේඛාවෙන් පහළට වැටුණා. ජීවනෝපාය කරගන්න බැරි තැනට වැටුණා. රජය මේක අවබෝධ කරගෙන තියෙනවා.  ඒ නිසා අස්වැසුම වැඩ සටහන ක්‍රියාත්මක කරන්නේ පවුල් ලක්ෂ 20 සමාජ සුභසාධන ප්‍රතිලාභ ලබා දෙන්න.

පවුල් ලක්ෂ 20ක්  ඒ කියන්නේ අපේ රටේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියන්නේ පවුලක සාමාජික සංඛ්‍යාව 3.8 කියල දළ වශයෙන් පවුලකට 4 දෙනෙක්. ඒ කියන්නේ අපි පවුල් ලක්ෂ 20 කට සහනාධාර දෙනව කියන්නේ පුද්ගලයන් ලක්ෂ 80 දෙනව කියන එකයි.

සාමාන්‍යයෙන් ලක්ෂ 80 එහා ගිය පිරිසකට අස්වැසු මගින් සහනාධාර දෙනවා ජුලි මාසේ සිට. ඒ වගෙම මෙම සහනාධාර ලැබීමට නුසුදුසු අය පිළිබඳවත් සොයා බලනවා. ඒ සඳහා තොරතුරු සොයා බැලීම සඳහා සමාජ සුභ සාධන පනත ක්‍රියාත්මක කරනවා.

ඒ අනුව තොරතුරු දෙන්නා වගේම තොරතුරු ලබා ගන්නාද වගකීමට බැඳි සිටිනවා. එම තොරතුරු ලබා ගැනීමෙන් පසු ගමේ ප්‍රසිද්ධ කරනවා. එමගින් සුදුස්සා කවුද  නුසුදුස්සා කවුද කියල ගමේ අයට බලාගන්න පුළුවන් වගේම සුදුසු කෙනෙකුට නොලැබෙන්නේ නම් අභියාචනා දෙන්නත් පුළුවන්'' යනුවෙන්  රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Latest